Posted by Unknown On 2:34 AM

කුජ මාරුව පිළිබඳව ඇතිවී තිබෙන කතිකාවතත් සමගින් කුජ ග්‍රහයා අපලකාරක නම් ඒවා සමනය කරගැනීම සඳහා කළ යුත්තේ කුමක්දැයි යන්න කරුණු ඉදිරිපත් කරන ලෙස බොහෝ දෙනෙක්ගෙන් ඉල්ලීම් තිබුණි.කුජ ග්‍රහයාගෙන් යෙදෙන අපල දුරු කරගැනීම වෙනුවෙන් සරල ශාන්තිකර්ම කිහිපයක් පිළිබඳව අපි කතා බහ කරමු.

කුජ ග්‍රහයා ග්‍රහ මණ්‌ඩලයේ සෙන්පති වශයෙන් හඳුන්වයි.බොහෝ විට ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරීන්ගේ ජන්මපත්‍ර වල කුජ ග්‍රහයා බලවත් වී ඇති බව කේන්ද්‍ර පරීක්‍ෂාවේ දී හමු වී ඇත. ආඥදායක නායකයන්ද බිහි කරයි. කුජ ග්‍රහයා ලේ ධාතුවට අධිපති වේ. තවද හදිසි අනතුරු, හිසේ අමාරු, මස්‌පිඬු වේදනා හා පෙරළීම එසේම ලිංගාශ්‍රිත රෝග හා මුත්‍රාශ ආශ්‍රිත රෝග ඇති කරයි. ලේපිත් වලින් හටගන්නා රෝගද ඇති කරයි. භූමිපුත්‍ර ලෙස ද හඳුන්වයි. ගිනි කාරකය අකුණුවලට විදුලිසැර ආදියට කාරක වේ. මේෂ සහ වෘශ්චික රාශිවලට අධිපති වන අතර සහෝදරකාරක ග්‍රහයාද වේ. කේන්ද්‍රයක කුජ බලවත් වූ විට ශල්‍ය වෛද්‍යවරු පවා බිහිකරන අතර, දුර්වල වූ විට මංකොල්ලකාරයින්, මිනීමරුවන් පවා බිහිවීමට ඉඩකඩ පවතී.


කුජ ග්‍රහයා ස්‌ත්‍රීන්ගේ විවාහ සම්බන්ධව විශේෂ ග්‍රහයෙකි. එමෙන්ම කුජ භෞම දෝෂ ශනි මංගල දෝෂ ආදිය ද ඇති කරයි. තාරුණ්‍යයද නිවේදනය කරන ග්‍රහයෙකි.
කුජ ග්‍රහයාගෙන් ඇතිවන අශුභ තත්ත්ව අවම කර ගැනීමටත් සුබ තත්ත්ව වර්ධනය කර ගැනීමටත් පහත සඳහන් ශාන්ති කර්ම විධිමත් ලෙස ඉටුකරගන්න.

* බෝධි පූජා පවත්වා කතරගම දෙවියන්ට පිං දෙන්න. (නිර්මාංශිකව)
* බුදුන් වැඳ කතරගම දෙවියන්ට පිං දෙන්න.
* පූජාවක්‌ දී කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම. (අදාළ කාලසීමාව දක්‌වා එනම් කුජ මහ දශා අන්තර් දශා වකවානුව)
* කන්දකුමාර යන්ත්‍රය, අභිසම්භිදාන යන යන්ත්‍රවලින් එකක්‌ විධිමත්ව සකසා පැළඳවීම.
* කොරල් හෝ රතු මැණිකක්‌ මුදුවක හෝ පෙන්ඩනයකට යොදා විධිමත් ලෙස සකසා ශරීරයට ස්‌පර්ශ වන සේ පැලඳීම.
* කොළොන් වෘක්‍ෂයකට සාත්තු කිරීම.
* රුධිරය දන් දීම.
බෝධි පූජා පැවැත්වීමේ දී අප විසින් භාවිත කරනු ලබන පූජා ද්‍රව්‍යයන්
* බුලත් 9 ක්‌ මත පහන් පූජා ද්‍රව්‍යයන් තැන්පත් කරන්න.
* කොළොන් පත්‍ර 9 ක්‌ තිබේ නම් යෝග්‍යයි.
* එළඟිතෙල් පහන් 9 යි. (පිරිසිදු එළඟිතෙල් යොදා ගන්න)
* පඬුරු කාසි 9 යි (කහ දියරින් සෝදා ගත්)
* හඳුන් කූරු 9 යි (සුවඳ හමන)
* කපුරු පෙති 9 යි
* රතු මල් 9 යි

මැටි පහන් 9 යි අලුත් විය යුතුයි, සෝදා පිරිසිදු කරගත්.
තවද නොඉඳුල්ව ඉතා පිරිසිදුව සිඳගත් පොල් තෙල් යොදා පහන් දල්වන්න (නොඉඳුල් තෙල් සිඳීමේදී පොල් රොඩු අත සෝදන ජලය වැනි බැහැර කරන ද්‍රව්‍ය සතුන්ට හෝ කෑමට නොහැකි වන පරිදි භාජනයකට දමා පූජාවෙන් පසුව ඉවත් කරන්න)
රතු නෙලුම්, රතුමල් වර්ග, සමන් පිච්ච මල් ආදිය මෙන්ම බෝධිපූජා සඳහා ගන්නා අනිකුත් දැහැත් ගිලන්පස ආදි පූජාවන් සිදුකිරීමට අමතක නොකරන්න. අබ තෙල් පහන්ද දල්වන්න. රත්හඳුන් මිශ්‍ර සුවඳ ධූපයක්‌ සකසා දුම් පූජා කරන්න.

බෝධිපූජා පැවැත්වීමේදී පුරපක්ෂයේ අඟහරුවාදා දිනයක් නම් වඩාත් සුබයි. අඟහරුවාදා දිනවල එදින ඉර උදාවත් සමඟ මුල් පැයේද පවත්වයි. එය කුජ ග්‍රහයාට හිමි දිනයේ සඳු හෝරාව බැවින් එදින රාත්‍රිය ආසන්න වශයෙන් ප.ව. 8-9 අතරද පූජාවන් පවත්වයි. එයද සුබ දායක වේ.
එසේ අපහසු නම් තමන්ට පහසු අවස්‌ථාවක නිවැරදිව සිදු කිරීමෙන්ද සුබඵල උදාකරගත හැක.

රුධිරය දන් දීමේදී
මෙහිදී තමන් විසින් ලේ දන් දී තමන් හැදූ වැඩූ දෙමාපියන්ට පිං අනුමෝදන් කරන්න. තමන්ගේ ඉෂ්ට දේවතාවන්ටත්, කතරගම දෙවියන් ප්‍රධන දෙවියන්ට පිං අනුමෝදන් වීමෙන් තම ග්‍රහ අපල දුරුවේවායි අධිෂ්ඨාන කරන්න.
මීට අමතරව ජ්‍යෝතිෂවේදියා විසින් නිර්දේශ කරනු ලබන අනිකුත් ක්‍රමවේදයන්ද නිසි පරිදි ඉටු කළ යුතු වන අතර ඔබට කුජ මාරුව අනුව අපල ඇත්දැයි නිවැරදිව දැනකියා ගැනීමට අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගත හැකිය.



0 අදහස් දැක්වීම්:

Post a Comment