Posted by Unknown On 8:40 AM


සූනියම් යාගයේදී යොදාගන්නා බොහෝ අමුද්‍රව්‍ය ඖෂධීය ගුණයෙන් යුක්තය.විශේෂයෙන්ම විනරෝග වලදී ප්‍රකට කෙරෙන වණ,දද, කුෂ්ඨ ආදී කායික රෝග සඳහා ඖෂධීය වශයෙන් ගුණදෙන බෙහෙත් වර්ග ඒ කාර්යය සඳහා යොදාගෙන ඇති අයුරු අපූරු කටයුත්තකි.සූනියම් මණ්ඩපය බහුල වශයෙන් සාදාගන්නට යොදාගන්නේ කෙසෙල් පතුරුයි. මියුසාසේ 
( Musarse ) කුලයට අයත් මියුසා නැමති උද්භිද නාමයෙන් හඳුන්වන කෙසෙල් ජලය උරා ගත හැකි ශාක බැවින් මනා සිසිල් ගුණයෙන් ද යුක්තය.

එවන් සිසිල් ගුණයෙන් යුත් කෙසෙල් පතුරු වලින් නිමකළ මණ්ඩපය තුල ආතුරයා බොහෝ වේලාවක් රඳවා සිටීම එම රෝගියාගේ ශරීර සුවයට වඩාත් හිතකර වේ.

ආයුර්වේදයේ සඳහන් ද්‍රව්‍යය ගුණ නිගණ්ඩුවල හදලි,මේඝා,වාරණ, මෝදා,ස්වාදු,අම්බුසරා යන නාමයන්ගෙන් හඳුන්වනු ලබන රඹ හෙවත් කෙසෙල් ගසේ බඩය ඉවත්කර පතුරු වේලා ලබාගනු ලබන අළුවලින් සාදනු ලබන කෑලිත් ක්ෂාරය නැමති ඖෂධය දියර ගලන කුෂ්ඨ රෝගීන් වෙනුවෙන් ගනු ලබන ප්‍රත්‍යක්ෂ ඔසුවකි.වින රෝගීන්ගේ බාහිර රෝග ලක්ෂණ මෙවන් ස්වරුපයක් ගැනීමටත් අටමඟල ඇඳීමට කෙසෙල් පතුරු දමා පිළියෙළ කරගත් අළු යොදාගැනීමටත් ආතුරයා ඒ මත වාඩිකර වීමත් රඹ පතුරු මණ්ඩපය තුල ආතුරයා වඩා හිඳුවීමත් යන කරුණු හා උක්ත ඖෂධීය ප්‍රතිකාර ක්‍රමය සමානය.

එසේම දාහපාහ යුක්ත කුෂ්ඨ රෝගයකදී ද රඹ පතුරු මත නිදිගැන්වීම ඖෂධීය ප්‍රතිකාරයක් ලෙස යොදාගනු ලැබේ.එපමණක් නොව අග්නි දණ්ඩමය හා ළදරු රථගාය රෝගීන් ස්නිශ්ධ බෙහෙත් තෙලක් ආලේප කරන ලද කෙසෙල් දළු මත නිදි කරවීම දේශීය වෛද්‍ය ක්‍රමයන්හිදී ප්‍රධාන දෙයකි.

මෙයින්ද පෙනෙන්නේ සූනියම් වීදි මණ්ඩපය ඇසුරුකොට රඹ පතුරුමය ඖෂධීය ගුණය රෝගියාට වක්‍ර මඟකින් ලබාදී ඇති බවයි.ආතුරයන් නානු ගා පිරිසිදු කිරීමෙන් කහ දියරයෙන් සේදීමෙන් තෙල් සඳුන් ආලේපයෙන් කරන්නේද එයයි.

වර්තමානයේ නානු සකස් කිරීමේදී යොදන්නේ දෙහි සහ පොල්කිරි ( හඳුන් කිරි පැන් ) පමණක් වුවද විෂ නාශක ගුණයෙන් යුත් ඖෂධයෙන් එසේම කහ දියරයෙන් විෂබීජ නසයි.මෙවැනි විෂබීජ නාශක ආලේපනයෙන් ආතුරයාගේ ශරීරයේ විෂබීජ නාශනයට අවශ්‍ය කටයුතු කරන අතර ඉන් අනතුරුව මොට්ටැක්කිලි පැන්දීමෙන් කරවනු ලබන්නේ නැවත විෂ ශරීරයට ඇතුළු වීමට නොදී පිරිසිදු රෙදි කඩකින් ශරීරයේ ආලේප කිරීමෙනි.

ආතුරය වීථි මණ්ඩපය තුළට ඇතුල් කරන්නේ මෙසේ මූලික විෂබීජ හරණයකින්(කිලි හරණයකින්) පසුවය.එසේම රංග මණ්ඩපය තුල හා යාග භූමියේ කහ දියර ඉසීම මඟිනුත් දුම්මල ගැසීමෙන් හා සුවඳ දුම් ඇල්ලීමෙන් පරිසරයේ ඇති විෂබීජ නාශනය මීට සමගාමීව කරනු ලබන තවත් කටයුත්තකි.

දොරටු පැන්නීම හෙවත් ඉන්ද්‍ර,යාම,වරුණ හා සෞම යන සතර දිග්භාග දොරටුවල වස් ඇරීම.
පැන් වැඩීම
හිස නානු ගෑම 
මොට්ටක්කිලි පැළඳවීම 
සළු වැදීම සහ ඒ උපත 
සළුවේ කීම 
සළු සැලීම 
ඒ ඒ කුලවලට යාග කිරීම 
ඉරි ඇඳීම 
දින හතට ඉරි ඇඳීම 
ඉරි වල දොස් ඇරීම 
දළුමුර (බුලත් උපත )
සත් අඩියට බුලත් තැබීම 
පඬුරු තැබීම
පඬුරු තබා සෙත් පැතීම 
අඩි හතට පත්‍ර 7 තැබීම 
පියුම් 7 තැබීම 
විලක්කු 7 ගැසීම 
විලක්කු කැප කිරීම 
මල්වර්ග 7 තැබීම 
බත්ගොටු 7 තැබීම 
බත්ගොටු කැප කිරීම 
සූනියම් යකාට අඬ ගැසීම 
7 අඩියට යකුන් ගෙන්වීම 
විනකල යකුන් ගෙන්වීම 
අඩි 7 ට රූප කැපකිරීම 
පිදවිලි කැපකිරීම 
දෙහි උපත 
දෙහි තැබීම 
දෙහි තබා වරං ගැනීම 
ගිරයේ උපත 
ගිරෙන් ලෙඩාගේ තත්වය කීම 
7 අඩියේ වින කැපුම 
අටමඟලට ගෙන්වීම 
සූනියම් වීදියේ දොරටු වලට විලක්කු ගැසීම
සූනියම් වීදියේ දොරටු පැනීම 
සූනියම් වීදියේ මල් කලස් හිදුවීම 
සූනියම් වීදියේ හා යන්ත්‍ර මගල් කියමන් 
වීදියේ යන්ත්‍ර ඇඳ වංගෙඩියේ තබා කීම 
වඩිග පටුන හා සෙත් පැතීම 
ඔටුණු පැළඳවීම (ඔටුණු මාල) 
වැල් වළලු පැළඳවීම සහ වැල් වලළු කැපීම 
රන්දුනු මාලාවේ කැපුම් සිරස පාදය

වැනිදේ ආතුරයා තුල මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා කරනු ලබන අභිචාර විදීන්ය.වඩිග පටුන වැනි විචිත්‍ර නර්තන අංගයක් සූනියමට එක්කරගෙන ඇත්තේ අරමුණු කීපයක් ඉටු කර ගැනීම සඳහාය.එයින් දැක්වෙන හාස්‍යජනක සංවාද වලින් රංගන විෂ්ණුතාවයෙන් රෝගියා සිනා ගැස්වීමෙන් සහ රස ගැන්වීමෙන් මානසික සුවයක් ඇති කරනවා පමණක් නොව තමා එමඟින් නිරෝගීතාවයට පත්වේය යන හැගීම සිතුවිලි තුලින් ආත්ම විශ්වාසයක් ඇතිකරගනී.ආතුරයාගේ දෙපයට තබන පොල්,සහල්,තොළබෝ,හීරැස්ස,දිවි කදුරු ආදියෙහි ඇති විශේෂත්වය වන්නේ ඒවා බොහෝ විට වණ කුෂ්ඨ ආදී චර්ම රෝග නිවාරණයේදී යොදාගන්නා ඖෂධයක් වන බැවිනි.

පොල්වල අන්තර්ගත ඖෂධීය ගුණය ගැන කුවේණි අස්නේ සඳහන්ව ඇත.විජය කුමරුට වැළඳි දරුණු කුෂ්ඨ රෝගයක් ඉවසාගත නොහී දිවි නසාගැනීමේ අදහසින් ගසක් යට වැටී තිබූ ගෙඩියක මදයානුභව කළවිට මියයනු වෙනුවට රෝගය සුවපත් වූ බවත් එය රන් තැඹිලි ගෙඩියක මදය බව එහි දැක්වේ.

පොල්කිරි වෂ විෂ ශරීර ගත වීමේදී ප්‍රතිකාරයක් වශයෙන් යොදාගන්නා අතර බොහෝ ඖෂධීය තෙල්වර්ග සකස් කිරීමේ දී මූලික අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නේ පොල්තෙල්ය.තොලබෝ ( Crinumdetixum) පත්‍රද කුෂ්ඨ රෝග සඳහා යොදාගන්නා ප්‍රත්‍යක්ෂ ඖෂධයන්ය.පත්‍ර යුෂ කුෂ්ඨ රෝග සඳහා ආලේපයක් ලෙස යොදාගනී.

එසේම හීරැස්ස ( Cissus Codrangularis ) රක්ත වාත අමාරුව නිසා ඇතිවන කකුල් පැලීමේ සහ දියර ගැලීමේ තත්වයන් හිදීද රක්ත රෝග සඳහා හිස ගැලවීම පිණිසද යොදාගනු ලැබේ.දිවි කදුරු ද විෂ නැසීමේ ඖෂධීය ගුණයෙන් යුක්තය.පිලි මෝල් ගසද දිවි කදුරු ලීයෙන් කල බව කියවේ.ආතුරයාට වැල් වලළු පැළදවීම ද මෙවැනි අරමුණක් ඉටු කරගැනීම සඳහා කර ඇත.ඒ සඳහා වල වර්ග 108 ක් නියම කර ඇත.එම වැල් වර්ගද ප්‍රචලිත ඖෂධීය ශාක වීම ද විශේෂත්වයකි.මෙසේ ඖෂධීය ගුණයෙන් යුත් විවිධ ශාක හා පත්‍ර ස්පර්ශයෙන් ගැල්වීමෙන් සහ ආශ්‍රිත පරිසරයක දිගු වේලාවක් සිටීමෙන් එම ඖෂධීය ගුණය එම රෝගියාට නො අඩුව ලැබේ.

මතු සම්බන්ධයි

0 අදහස් දැක්වීම්:

Post a Comment