ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබ වෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ දොලොස්වන දිග හැරුම මෙසේ සටහන් කරමු.
පහත ලින්ක් එක මඟින් එකොළොස්වන පාඩම් මාලාවට නැවත පිවිසිය හැකිය.
පසුගිය සතියේ අප ෂට්විද ආකාශ වස්තූන්ගෙන් නැප්චූන් ග්‍රහයා පිළිබඳව හඳුනාගතිමු.අද අප ඡායා ග්‍රහයින් යටතට ගැනෙන රාහු කේතු යන ග්‍රහ දෙපළගෙන් රාහු ග්‍රහයා පිළිබඳව අපේ අවධානය යොමු කරමු. රාහු යැයි හඳුන්වන ග්‍රහයා හුදෙක්ම ජ්‍යෝතිෂමය සිද්ධාන්තයන්හි භාවිතාවෙන ග්‍රහයෙකි.
රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි මෙන් නොව රාහු – කේතු දෙපළ ඡායා ග්‍රහයන් ලෙස හඳුන්වන සංකල්පීය ලක්ෂ්‍ය දෙකක් පමණයි. මෙම ලක්ෂ්‍ය දෙක වන්නේ පෘථිවිය සූර්යයා වටේ ගමන් කරනා කක්ෂයත්, චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන කක්ෂයත් කැපෙන ස්ථාන දෙකයි.ඇතැමුන් එය පෘථිවියේ සෙවනැල්ල වැටෙන ස්ථානයන් ලෙසත් අර්ථ දක්වනු ලබන මනඃකල්පිත ලක්ෂ්‍යයන් වේ.
ඒ අනුව රාහු හා කේතු නිරන්තරයෙන් පෘථිවිය දෙපස පිහිටයි. රාහුට අංශක 180ක් අෑතින් කේතු පිහිටයි. රාහු ලග්නයේ වන පළමු වැන්නේ හිටියොත් කේතු ඉන්නේ 7 වැන්නේ රාහු දෙවැන්නේ නම් කේතු 8 වැන්නේ. නැත්නම් රාහු 5 වැන්නේ නම් කේතු 11 වැන්නේ ආදී වශයෙනි. ඒ කෙසේ වෙතත් මේ දෙදෙනා ජන්මීන්ට සුබ අසුබ පල ලබා දීමේදී ඉතා ඉහළ බලපෑමක් කරනු ලබයි.
මොවුන්ගේ ග්‍රහ දෘෂ්ටිය නැත්නම් දැක්ම තියෙන්නෙත් තමා කේන්දරයේ ඉන්න තැනින් පසු පසට.එයත් අනිත් ග්‍රහයින්ට වඩා විශේෂත්වයක්. පැරැණි යුගයේදී මෙම ග්‍රහ ද්විත්ත්යට රාශි හිමිකාරීත්වයක් දී නැතත් පසුකාලීනව රාහුට කන්‍යා රාශියත්, කේතුට මීන රාශියත් හිමි කර දී ඇත. ඔවුන් දෙදෙනා මේ රාශි දෙකට ස්වක්ෂේත්‍රය. බලවත්ය. මේ දෙදෙනා ඡායා ග්‍රහයා නිසා කිසිම ස්කන්ධයක් හෝ කිරණ විහිදුවන ශක්තියක් ඇති ග්‍රහයන් නොවේ. එම නිසා ප්රබලවම කිරණ විහිදුවන ග්‍රහයන් දෙපළ වන රවි හා සඳු රාහු කේතුගේ පරම සතුරන් ලෙස ජ්‍යෝතිෂයේ හඳුන්වනු ලබයි.මේ දෙදෙනා අන්ධකාරයේ නියෝජනයයි. ‘කරණ සතුරු’ මේ දෙපළ හඳුන්වන තවත් නමකි. ඒ වගේම 22 වැනි දෙර්කාණාධිපති, යෝග කාරක ග්‍රහයා, බාධක ග්‍රහයා වගේ දේවල්වලටත් මේ දෙන්නා අනිකුත් ග්‍රහයින් මෙන් සම්බන්ධ නැහැ. සමහර ජන්මපත්රවල ඇති ප්‍රබල දෝෂයක් වන කාලසර්ප යෝගයට සම්බන්ධ වන්නේද මොවුන් දෙදෙනායි . ‘ශනි වන් රාහු කුජ වන් කේතු’ යැයි කියමනක්ද ඇත. එයින් කියැවෙන්නේ ශනිගේ ගතිගුණ රාහුටත් කුජගේ ගතිගුණ කේතුටත් ඇති බවයි.
අසුරයින්ගේ රජු යැයි ව්‍යවහාර කෙරෙන රාහු බලය සහ ශක්තිය අතින් කිසිම ග්රහයෙකුට දෙවැනි නොවේ.අවුරුදු 18 ක පමණ එනම් ග්‍රහයින්ගෙන් තෙවනුව වැඩිම මහ දශා කාලය හිමිවන්නේද රාහුටයි. රාහුට අන්වර්ථ නාම රාශියකි. එනම් අසුර, ස්වරභානු, රෞද්‍ර, ග්රහරාජ, ඝෝර රූප යනාදි වශයෙනි. රාහු වනාහි උද්වේග කර ගතිගුණ ඇති ග්‍රහයෙකි. තමා කේන්දරයේ තැන්පත් භාවයේ සිටින අනෙක් ග්‍රහයාගේ ගති ගුණ ආරෝපණය කර ගැනීමට මොහු හරි හපනෙකි. නාග හිසක් හා මනුෂ්‍ය ශරීරයක් ඇති රාහු විටක ඉතා දරදඬුය. සැර පරුෂය. හරිම වේගවත්ය. විටක මොළේ නැත්තකු සේ වැඩ කරයි. මොහු විවාහය කෙරෙහි ප්‍රබල බලපෑම් ඇති කරන බව ජ්‍යෝතිෂ මතයයි. නමුත් ඒ අසුබව 7 වැන්නේ සිටීම, හත දැකීම නිසයි. විවාහ ස්ථානයට සම්බන්ධ වූ විට එම ප්‍රතිඵල උදා කරනු ඇත. 5 වැන්නට සම්බන්ධ වීම දරුපලවලට හානිදායකය. මත්වතුර, දුම්වැටි, මත්කුඩු හා සම්බන්ධ ප්‍රධාන ග්‍රහයාද රාහුය. ජන්මියා ඇවිද්ද වීම රාහුගේ විනෝදාංශයකි. නමුත් රාහු හොඳට හිටියොත් විදේශ ගතවීම් ආදියටද භාග්‍ය උදාකරවයි.රැකියා ස්ථාන මාරුවීම්,විවාහ වීම් ආදිය රාහු දශාවේදී වැඩි වශයෙන් සිදුවේ.රාහු – කේතු දෙපළ නරකට සිටියහොත් මුළු ජීවිත කාලය පුරාවටම දුක්ඛිත ලෙස ගත කිරීමට සිදුවන බවද පුරාණ ග්රන්ථයන්හි සඳහන් වෙයි.
තමන් සමඟ සම්බන්ධ වන අනෙක් ග්‍රහයන්ගේ ගතිගුණ ඉදිරියට ගෙන යෑම රාහුගේ ස්වභාවයයි .රාශියේ ග්‍රහයෙක් නැත්නම් රාශිය අධිපති ග්‍රහයා සමඟ හෝ එක්ව තමන්ගේ වුවමනා එපාකම් ඉටු කර ගැනීමට රාහු දක්ෂයි. රාහු දශාව අධ්‍යාපනයට නම් හොඳ නැහැ. අධ්‍යාපනය කඩාකප්පල් කරවීමට බලයි. සර්ප දෘෂ්ටිය හදිසි අනතුරු, වස විස, අමනුෂ්‍යයන්, බන්ධනාගාර, කනවැන්දුම් බව, ආදර සම්බන්ධතා, වඳ බව, සැත්කම්, අක්ෂි රෝග, දේශපාලන කුමන්ත්‍රණ ආදිය රාහු ග්‍රහයා නියෝජනය කරයි. 3/6/11 රාහුට සුබ භාවයන් වෙයි.
කන්‍යාවට ස්වක්ෂේත්ර වන අතර වෘෂභයට උච්චවේ.නීචය වෘශ්චිකයයි.අද සා සහ සියාවස නැකත් රාහුගෙන් පාලනය වේ.ගෝමේද ගල රාහු අපල සඳහා යොදාගනී.නාගර්ජුන යන්ත්‍රය විශේෂයි.
මීළඟ පාඩමින් කේතු පිළිබඳව හඳුනාගනිමු.
0 අදහස් දැක්වීම්:
Post a Comment