Posted by Unknown On 11:26 AM


ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් අද පටන් සෑම බදාදා දිනකම ඔබවෙත පාඩම් මාලාවක් කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.එහි පළමුවන දිග හැරුම මෙසේ සටහන් කරමු.

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය යනු පුරාණයේ විසූ අධි මානසික බලයෙන් යුත් සෘෂිවරුන් සොයාගත් අවුරුදු 5000 කට වඩා පැරණි ශාස්ත්‍රයකි.විද්‍යානුකූල අර්ථ දැක්වීමක් කළහොත් භූගෝල විද්‍යාවත් තාරකා විද්‍යාවත් පදනම් කොට ගෙන ගණිත විද්‍යාව ආධාරයෙන් සකස් කරගත් අතුරු විද්‍යාවක් ලෙසද හඳුන්වා දිය හැකියි.අධ්‍යයනයේ පහසුව තකා පසු කාලීනව විද්‍යාව යන සප්ත මහා සාගරය ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව,ගණිතය,භූගෝල විද්‍යාව,තාරකා විද්‍යාව,වෛද්‍ය විද්‍යාව ආදී වශයෙන් කොටස් වලටත් අනු කොටස් වලටත් වෙන් වූ අතර විද්‍යාවේ එවන්ම කොටසක් ලෙස ජ්‍යෝතීර් විද්‍යාව හඳුන්වා දිය හැකිය.

ජ්‍යෝතිෂය යන වචනයේ තේරුම ” ආලෝකයයි” .ඒ අනුව විශ්වයේ ඇති ග්‍රහ තාරකා වල බැබළීම සහ නිකුත් කරන ග්‍රහ කිරණයන් හා ආලෝක රශ්මි පදනම් කරගෙන එක්තරා දෛවෝපගත ක්‍රමයකට අනාවැකි ප්‍රකාශ කිරීම ජ්‍යෝතිෂ විද්‍යාවෙන් සිදු කරයි.ජ්‍යෝතීර් විද්‍යාවේ ඇතැම් කොටස් ප්‍රායෝගිකව ඔප්පු කළ හැකි අතර ඇතැම් කොටස් පියවි ඇසට දැකගත නොහැකිය.එයද හරියට විශ්ව ගවේෂණය මෙනි.තවමත් නවීන විද්‍යාවට පවා නිවැරදි ලෙස  ඔප්පු කර ගත නොහැකි විශ්ව රහස් මෙන් ගුප්තමය වශයෙන් සහ ඇතැම් දේ ගණිතමය වශයෙන් පෙන්වා දිය හැකි සප්ත මහා සාගරයක් මේ මහා විද්‍යාව සතුය.

” ලෝක විෂය අචින්ත්‍ය” යැයි තිලෝගුරු බුදු පියාණන් පවසා ඇත්තේ ද මිනිස් මනසට විද්‍යාවට සහ බුද්ධියට අනුව  විශ්වය පිළිබඳව ගවේෂණය කර සොයා නිමක් කෙළවරක් කරගත  නොහැකි බවයි.ඒ ආකාරයටම යමෙක්ට ජ්‍යෝතිෂය තම ජීවිත කාලය පුරාවටම ඉගෙන අවසන් කල නොහැකිය.නමුදු ජ්‍යෝතිෂය නම් සප්ත මහා සාගරයෙන් තේ හැන්දක පමණ ප්‍රමාණයක් ඉගෙන ගත්තෙකුට ප්‍රගුණ කළ අයෙකුට එම අල්පමාත්‍රය තුලින් දහසකුත් පල ප්‍රයෝජන ලද හැකිය.මිනිස් ජීවිත වලට ඒවා ආදේශ කරගෙන තම තමන්ගේ ජීවිත පමණක් නොව අන් අයගේ ජීවිත ද සාර්ථක කරවීම සඳහා අත්වැලක් විය හැකිය.මතක තබා ගත යුතු අනෙක් කරුණ නම් ජ්‍යෝතීර් විද්‍යාව ලොව බිහිවූ සියළු ආගම් වලට පෙර බිහි වූවක් බවයි.එබැවින් මෙය එක් ආගමකට පමණක් සම්බන්ධ දෙයක් නොව විශ්ව ශාස්ත්‍රයක් බවද මනාකොට වටහාගත යුත්තේය.

මනුෂ්‍යයින්ගේ ලෞකික ජීවිත සාර්ථක කරගැනීමට, දුෂ්කරතා පැන නගින විට ඒවා සමනය කරගැනීමට අයහපත් දේ සිදුවීමට ඇත්නම් කර්මානුරූපීව ඒවායින් මිදීමට සහ නරකක් සිදුවීමට ඇත්නම් ඒවා අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට යහපතක් ඇත්නම් ඒවා වැඩි දියුණු කරගැනීමට ජ්‍යෝතීර් විද්‍යාව උපයෝගී කරගත හැකිය.මිනිසා කෙරෙහි පමණක් නොව අප පෘථිවි තලයෙහි සියළු සප්‍රාණික මෙන්ම අප්‍රාණික සකලවිධ සියළුම දේ කෙරෙහි ජ්‍යෝතීර් විද්‍යාව බලපාන බව සියුම් ලෙස මනාකොට ශාස්ත්‍රය තුළින් විග්‍රහ කළ හැකිවේ.නිරන්තර සිදුවන ග්‍රහ චලන ග්‍රහ ගමන් සහ වෙනස්වීම් අති සූක්ෂම අයුරින් ගණනය කර ගැනීම තුළින් පෘථිවි තලය තුල සිදුවන්නාවූ සියල් වෙනස්කම් සූක්ෂම ලෙස ගණනය කොට දැක්විය හැකි වුවද මතක තබා ගත යුතු හොඳම කරුණ වන්නේ එවැන්නක් කිරීමට නම් මනස ද ප්‍රගුණ කර තිබිය යුතු බවයි.එදා සෘෂිවරුන් කියූ පරිද්දෙන්ම අති සූක්ෂම අනාවැකි කිව නොහැක්කේ ඔවුන් මෙන් දියුණු මනසක් ඇත්තවුන් අද ලෝකයේ නොමැති බැවිනි.එනිසා උපහාස කරන ඇතැම් අයට කිව යුත්තේද එය ජ්‍යෝතීර් විද්‍යාවේ වරදක් නොව පුද්ගල හැකියාවන් සහ ඔවුනොවුන්ගේ දැනුම් ප්‍රමාණයන් මත තීරණය වන්නක් බවයි.

වසර 5000 කට පමණ පෙර ඉන්දියාවේ විසූ පුලස්ති ආදී වූ ඉසිවරුන් නාඩිපත් ඉරු වල අද මේ කතාකරන මේ මොහොතේ ඉපදෙන දරුවන්ගේ පවා නම් ගම් දෙමව්පියන්ගේ රැකී රක්ෂා ආදී වූ සියළු විස්තර ලියා සටහන් කොට තබා ඇත.

නැවත නැවතත් ජ්‍යෝතිෂය ඉගෙනීම පිළිබඳව ඇල්මක් ඇති ඔබට පැවසිය යුතු වැදගත්ම කරුණ වන්නේ අද වනවිට අප රට තුළ බොහෝ දෙනෙක් මෙම වටිනා ශාස්ත්‍රය කුමක්ද යන්නවත් හරි හැටි නොදනී.ඒ නිසාම ගර්හාවට පත් කරනු ලබයි.එසේ වීමට ප්‍රධාන හේතුව වන්නේ හරිහැටි ශාස්ත්‍රය නොදැන මුදල් ගැරීමට යාමයි.එදා මුදුන් මල්කඩක් ලෙස සැලකූ මෙම ශාස්ත්‍රය අද ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති ආකාරය වර්තමාන සමාජය දෙස බලන විට අපට පෙනී යන කාරණයකි.එදා කොත්මලේ ගණිතයා ආදී වූවන් රජුන්ට පවා නිවැරදි අනාවැකි පවසද්දී අද ජ්‍යෝතිෂ කඩ කාරයින්,හොරුන් කපටින් එක්ව ශාස්ත්‍රය මුදලට ඇති කෑදරකමට කෙළසනු ලැබීම මත බොහෝ දෙනෙක් ජ්‍යෝතිෂයට ගරහයි.එවැන්නන් නිසා අතරමං වූ අසරණ වූ මිනිසුන්ද බොහෝය.අපගේ වෑයම හැකි පමණින් අසරණ මිනිසුන්ට සත්‍ය අව්‍යාජ සේවයක් සැපයීම සහ ගර්හාවට ලක්වූ ශාස්ත්‍රයට නිසි තැන නැවත ලබා දීමයි.

ජ්‍යෝතිෂයට කැමති ඔබවෙත මෙයින් යම් හැඳින්වීමක් ආරම්භයක් ලබා දෙනු ලැබූ අතර ලබන බදාදා දින සිට ජ්‍යෝතිෂය බෙදෙන ප්‍රධාන කොටස් වන සිද්ධාන්ත, සංහිතා සහ හෝරා පිළිබඳවත් ග්‍රහ තාරකා ආදිය පිළිබඳවත් කතා බහ කරමු.

1 comment:

  1. jotishaya uganwamin visala washayen sallihamba karana aya inna rataka meweni padam itamathma watina milakala noheki uthsahayak.

    ReplyDelete