Posted by Unknown On 5:28 AM

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබවෙත පාඩම් මාලාවක් කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ සිව් වන දිග හැරුම මෙසේ සටහන් කරමු.

පසුගිය සතියේ අප ෂට්විද ආකාශ වස්තූන්ගෙන් සූර්යයා පිළිබඳව හඳුනාගතිමු.අද අප චන්ද්‍රයා පිළිබඳව ජ්‍යෝතිෂමය හා විද්‍යාත්මකව අපේ අවධානය යොමු කරමු.

චන්ද්‍රයා ගැන කතා බහ කිරීමේදී ජ්‍යෝතිෂය ගැන දැනුමක් නොමැති කෙනෙක් පවා දන්නා කරුණක් ලෙස වඩදිය බාදිය ඇති කරවීමට චන්ද්‍රයාගෙන් ඇති කරවන බලපෑම කුමක්දැයි අසා ඇතැයි සිතමු.එයින් අප වටහා ගත යුත්තේ සූර්යයා විසින් අප පෘථිවි තලයට සමීපව බලපෑම් ඇති කරන්නේ යම් සේද එපරිද්දෙන්ම අප පෘථිවියට ආසන්නනයෙන්ම පිහිටන අපේ එකම උපග්‍රහයා වන චන්ද්‍රයාද ඒ හා සමාන බලපෑමක් පෘථිවිය වෙත එල්ල කරනු ලබන බවයි.

සූර්යයා යනු පියා නම් චන්ද්‍රයා යනු මව් ලෙස ජ්‍යෝතිෂයේදී අප හඳුන්වමු.තරිඳු,බමති ආදී වූ නම් වලින් හඳුන්වනු ලබන චන්ද්‍රයා ගේ  විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/50 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km කි. චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ක්, පැය 7ක්, මිනිත්තු 43 ක් හා තත්පර 11.5 ක් ගත වේ. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වන හෙයින් එහි ආලෝකවත් වන කොටස ප්‍රමාණයෙන් වෙනස් වේ. සඳේ දීප්තිමත් කොටස විවිධ හැඩයෙන් යුතු වේ. පුරහද හෙවත් පසළොස්වක දිනදී, සද දීප්තිමත් වෘත්තයක් සේද, අටවක දිනකදී සදෙන් අඩක් දීප්තිමත්ව ද, පෙනෙනු ඔබ දැක ඇත. සදෙහි දීප්තිය අධික ලෙස අපේ ඇසට දැනුන ද අවකාශයට පරාවර්තනය කරනුයේ,ඒ මතට පතිත වන ආලෝකයෙන් සියයට 7 ක් පමණි.චන්ද්‍රයා දිනකට ගමන් කරන දුර අංශක 13 කි.නමුත් දිනපතා භ්‍රමණය වන වේගය සමාන නොවේ.අංශක 11 සිට අංශක 15 දක්වා අඩු වැඩි වශයෙන් එය වෙනස්වේ.

අතීත ආකාශ නිරීක්‍ෂකයන් විශ්වාස කළ පරිදි සදෙහි අදුරු පැත්ත සාගර හෝ දීප්තිමත් පැත්ත ගොඩබිම හෝ නොවේ. චන්ද්‍රයාගේ මතුපිට පිළිබඳව දැනට කර ඇති නිරීක්‍ෂණ අනුව එය ආවාට, කදු වැටි, තැනිතලා, විභේද වැනි භූ ලක්‍ෂණ වලින් සමන්විත වේ.සඳේ ඇති විශාලතම ආවාටය ලෙස සැලකෙන බේලි 295 km ක් පළල සහ 3960 km ක් ගැඹුරුය. විශාලතම මුහුද වූ මාර් ඉම්බ්‍රිඅම් 1200 km ක් පළලය.එහි ඇති උසම කන්ද 6100 m ක් උසය.එය ලෙයිබෙනිට්ස් හා ඩොඑර්පල් වැටි අතරේ චන්ද්‍රයාගේ දක්‍ෂිණ ධ්‍රැවයට ආසන්නව පිහිටා තිබේ. චන්ද්‍රයාගේ ආවාට නිර්මාණය වී ඇති ආකාරය විවිධාකාරය. ඒවා චන්ද්‍රයා නිර්මාණය වූ මුල් කාලයේදී ඇති වූ අධිප්‍රවේගයෙන් යුතු උල්කාපාත හෝ කුඩා ග්‍රහාංශු වලින් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

චන්ද්‍රයාගේ උපත හා එය නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව විවිධ මත පවතී. එයින් එක් මතයකට අනුව චන්ද්‍රයා පෘථිවියෙන් පැලී, වෙන් වී එහි කක්‍ෂය වටා භ්‍රමණය වේ. සඳේ ඝනත්වය සහ පෘථිවියේ හරස් හෝ ඉහළ උප ස්ථරයේ පාෂාණවල ඝනත්වය සමාන වීම එම මතයට එක් සාක්ෂියකි. තවත් මතයකින් කියවෙනුයේ පෘථිවිය, චන්ද්‍රයා හා සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු සියලු ම වස්තූන් විශාල වලාකුළක් ලෙස එකට කොටු වී තිබූ බවත්, පසුව ඒවායින් බොහොමයක් මධ්‍යයට එක් වී සූර්යයා නිර්මාණය වූ බවත් ය. තෙවැනි මතයෙන් චන්ද්‍රයා, සෞරග්‍රහ මණ්ඩලයට පිටතින්ද, පෘථිවියට ඉතා ඈතින්ද නිර්මාණය වූ බවත් පසු කලෙක දී පෘථිවියේ ස්ථිර කක්‍ෂයට ඇද ගන්නට ඇති බවත් කියවේ.

19 වැනි හා 20 වැනි සියවස්වල දී දුරදක්න ආධාරයෙන් චන්ද්‍රයාගේ ආලෝකවත් පැත්ත පිළිබඳව බොහෝ තොරතුරු රැස්කර ගත හැකි විය. සෝවියට් ලුනික් 111 අභ්‍යවකාශ යානය මගින් චන්ද්‍රයාගේ අදුරු පැත්ත පිළිබඳව ප්‍රථම වරට 1959 වර්ෂයේදී ඡායාරූප රාශියක් ලබාගැනුණි. එම ඡායාරූපවලින් පැහැදිලි වූ කරුණක් වූයේ චන්ද්‍රයාගේ අදුරු පැත්ත ද ආලෝකවත් වී ඇති පැත්තට සමාන බවයි. චන්ද්‍රයාගේ මතුපිට සෑම තැන්හිම ආවාට විසිරී තිබෙනු දක්නට ලැබිණි. ඒවා ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවායේ සිට ඉතා කුඩා ඒවා දක්වා විය. එක්සත් ජනපදයේ රැන්ජර් 7,8,9, සහ ඕර්බිටර් 1 (1964) හා ඕර්බිටර් 2 (1966) අභ්‍යවකාශ යානා මගින් ඉහත අදහස් සනාථ කෙරිණි. ඒ අනුව චන්ද්‍රයාගේ මතුපිට මීටරයකට වඩා වැඩි විෂ්කම්භයෙන් යුතු ආවාට ට්‍රිලියන 3ක් පමණ තිබෙන බව වාර්තා විය.

එක්සත් ජනපදය හා සෝවියට් දේශය විසින් 1960 ගණන්වල දී අභ්‍යවකාශගත කළ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා මගින් චන්ද්‍රයාගේ පාෂාණ රැස් කරන ලදි. එම පාෂාණ පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලි වූයේ, චන්ද්‍රයා වසර 4,600,000,000 ක් පමණ පැරණි බවත් එය පෘථිවිය හා සම වයසේ හෝ ඇතැම් විටෙක සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයින් තරමටම පැරණි විය හැකි බවත් ය. ඇපලෝ 11, 12, 14, සහ 17 යානා ඇසුරින් චන්ද්‍රයාගේ මතු පිටින් පාෂාණ හා පස් කිලෝ ග්‍රෑම් 384 ක් පරීක්‍ෂණ සදහා පෘථිවියට ගෙනවිත් තිබේ. එසේම ටෝරස් ලිට්රෝ නිම්න ප්‍රදේශයේ 35 km ක් ප්‍රදේශය පැය 22 ක් තිස්සේ අධ්‍යයනය කරන්නට ද යෙදුණි.

මුහුදේ උදම්(Tides) බලපෑමට මෙන්ම පෘථිවියේ භ්‍රමණ කාලය සදහාත් එමෙන්ම පෘථිවි භ්‍රමණ අක්ශයේ පිහිටීම සදහාත් චන්ද්‍රයාගේ ගුරුත්ව බලය ප්‍රභල ලෙස බලපායි. පෘථිවියේ සමතුලිතතාවය නිසි ආකාරව පවත්වා ගැනීමටද චන්ද්‍රයා ඉතා වැදගත් වේ. පෘථිවිය සතුව උපග්‍රහයෙක් නොතිබුනහොත් කුමන ආකාරයක තත්වයක් ඇති විය හැකිද යන්න පිලිබදව විද්‍යාඥයින් උනන්දු වන අතර ඒ පිලිබදවද පරීක්ශණ පවත්වයි. පෘථිවිය ලගින්ම ඇති ආකාශ වස්තුව වන චන්ද්‍රයා රාත්‍රී අහසේ ඉතා දීප්තියෙන් දිස් වනුයේ සූර්යයා මෙන් තමා විසින්ම ආලෝකය නිපදවා ගැනීමකින් නොව සූර්යයාලෝකය පරාවර්තනයෙනි. චන්ද්‍රයා විවිධ කලා වලින් අහසේ දිස් වීමට හේතුව එය පෘථිවිය වටා සිදු කරන පරිභ්‍රමණයයි. නමුත් චන්ද්‍රයා සතු මෙම පරිභ්‍රමණ ක්‍රියාවලිය පෘථිවියා සූර්යයා වටා සිදු කරන පරිභ්‍රමණයෙන් වෙනස් වන්නේ චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය හා පරිභ්‍රමණ කාලය බොහෝ දුරට සමාන වන බැවිණි.මේ හේතුව නිසා පෘථිවියේ සිටින අපට සෑම විටම දර්ශණය වන්නේ චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණක් බවද විශේෂයෙන් සදහන් කල යුතුය. චන්ද්‍රයාගේ අනෙක් අර්ධය සැම විටම පෘථිවියට පෙනෙන දිශාවට විරුද්ධව පිහිටයි.

පෘථිවිය හැරුණු කොට ඇති ආකාශ වස්තුව ලෙසටද චන්ද්‍රයා හැදින්විය හැකිය. තවද සෞරග්‍රහ මන්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහ වස්තූන්ගෙන් මිනිසෙකු පා තබා ඇති එකම ආකාශ වස්තුව චන්ද්‍රයා බවද ඔබ හොදින් දනී. චන්ද්‍රයා මතට මුල් වරට මිනිසෙකු ගොඩ බැසීම සිදු වූයේ 1969 ජූලි 20 වන දින, ඇපොලෝ-11 මෙහෙයුම යටතේය.නීල් ආම්ස්ට්‍රෝන්ගේ සඳ ගමන තුළින්ද චන්ද්‍රයා පිළිබඳව ලබාගත් තොරතුරු බොහොමයකි. සද මතට මිනිසෙකු ගොඩ බැස්වීමේ සුවිශේෂී කර්තව්‍යය සදහාම විශේෂයෙන් ක්‍රියාත්මක වූ ඇමෙරිකානු යෝධ අපොලෝ ව්‍යාපෘතිය හරහා මේ වන විට චන්ද්‍රයා මතට ගෙන ගොස් ඇති ගගනගාමීන් ගණන 12 කි. චන්ද්‍රයා මතට ගගනගාමීන් රැගෙන ගිය අවසාන ඇපොලෝ මෙහෙයුම වූයේ ඇපොලෝ-17 වන අතර සද මත වැඩිම කාලයක් මිනිසුන් රැදී සිටි මෙහෙයුම වන්නේද මෙයයි.

සඳු සිතට අධිපති ග්‍රහයා ලෙස ජ්‍යෝතිෂයේ දී හඳුන්වයි.ආපෝ හෙවත් ජලය පාලනය කරයි.ගැබ් ගැනීම,දරුවන් පිළිසිඳ ගැනීම,කාමරාග අවශ්‍යතාවයන් සංවාසය සහ කළල රූප වලට ද බලපවත්වයි.දරුවකුගේ ළදරු අවස්ථාවට බලපවත්වන්නේ ද චන්ද්‍රයායි.ලිං,පොකුණු,වැව්,සාගර,මුහුදු ආදියද දියර වර්ග සහ ජලජ සතුන් ද, දිය යට ඇති මුතු,ගස් වැල් වල වර්ධනය,රෙදිපිළි,රසායන ද්‍රව්‍ය,කිරි,උක්,මුං,කැකිරි,කොමඩු,පතෝල,වට්ටක්කා,හතු,උක්,ගෝවා,සලාද ආදී පැළෑටි වර්ගද පාලනය කරයි.අධිපතිත්වය දරයි.

ශරීරයේ අංග වශයෙන් පුරුෂයින්ගේ වම් ඇසත් ස්ත්‍රීන්ගේ නම් දකුණු ඇසත් නියෝජනය කරයි.පියයුරු,ආමාශය,බඩ,ගල නාලය,ගර්භාෂය,ඩිම්බ,ග්‍රන්ථි,කෝෂ,මුත්‍රාශය ආදී ඉන්ද්‍රියන් පාලනය වන්නේ චන්ද්‍රයා විසිනි.තරුණ ස්ත්‍රීන් සහ ගොවීන් පාලනයට අධිපති වන්නේ ද චන්ද්‍රයාය.

ඇස් රෝග, පීනස් රෝග,අංශභාගය,ඔල්මාදය,අපස්මාරය,පීනස් රෝග,සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස,පණු රෝග,බඩවැල් වල රෝග,වායුගෙඩි,මුත්‍රා රෝග,ස්වාසනාලය ආශ්‍රිත රෝග,නහර ඉදිමීම් ගැට ගැසීම්,අජීරණය,ආමාශ රෝග,පිළිකා,මත්පැන් නිසා ඇතිවන රෝග ආදියටද බලපවත්වයි.

ජ්‍යෝතීර් විද්‍යානුකුලව තවත් විශේෂත්වයක් චන්ද්‍රයා හා පවතී.ඒ ඒ දිනයට අයත් නැකත තීරණය වන්නේ චන්ද්‍රයා සිටින ස්ථානය අනුවය.චන්ද්‍රයා සිටින නැකත යනු ඒ දිනයේ හෝ මොහොතේ උදාව ඇති නැකතයි.සඳු කටක රාශියට ස්වක්ෂේත්‍ර වේ.එනම් තම අධිපතිත්වය දරන රාශිය කටකයයි.උච්ච රාශිය වන්නේ වෘෂභ රාශියයි.නීච රාශිය වන්නේ වෘශ්චිකයයි.සඳුදා දිනයට අධිපතිත්වය දරයි.නැකත් චක්‍රයේ රෙහෙණ,හත සහ සුවණ යන නැකත් වලට ද අධිපතිත්වය දරණුයේ චන්ද්‍රයායි.මුතු සඳුට අයත් වන පාෂාණයයි.

මේ ආදී වශයෙන් ෂට්විද ග්‍රහයින්ගේ අනෙකුත් ග්‍රහ තාරකා පිළිබඳව මීළඟ ලිපියකින් හඳුනාගනිමු.

0 අදහස් දැක්වීම්:

Post a Comment