Posted by Unknown On 4:43 AM


යෞවනයේ සොඳුරු සිහින සැබෑකරමින් යුවලක්‌ යුග දිවියට පත්වනුයේ විවාහය නමැති ජීවිතයේ ස්‌වර්ණමය අවස්‌ථාවට එළඹෙමිනි. මේ අයුරින් එක්‌වෙන බොහෝ අයගේ යුග දිවිය දිනෙන් දින දියුණුව කරා යැමටත් ඇතැමුන්ගේ දිවිය අසාර්ථක වීමටත් ඔවුනොවුන්ගේ කේන්ද්‍රවල සටහන් වී ඇති සුබ අසුබ ග්‍රහ පිහිටීම් බලපානු ඇත. විශේෂයෙන් පුරුෂයෙකු විවාහ කරගනු ලබන ස්‌ත්‍රියකගේ කේන්ද්‍රයේ සුබ ග්‍රහ පිහිටීම් ඔවුන්ගේ විවාහ දිවිය සාර්ථකවීමට හේතුවෙයි. ගුණ නුවනින් හා යහපත් චරිතයෙන් පිරිපුන් ස්‌ත්‍රියක හා විවාහවීමෙන් පුරුෂයාගේ සියලු අරිෂ්ඨ යෝග භංගවී යහපත් අයෙකුවීමට බලපානු බව ජ්‍යෝතිෂයේ සඳහන්වෙයි.

විවාහයෙන් පසු ස්‌ත්‍රියගේ වාසනාව මහිමයෙන් පුරුෂයා යස ඉසුරින් පිරුන අයෙකු වන බවටත්, විවාහය පුරුෂයෙකුට වාසනාව කැඳවන්නක්‌ වන බවද සමාජයේ පිළිගැනීමක්‌ වේ. එවන් ගුණැති ස්‌ත්‍රියක හා විවාහවූ පුරුෂයාත් දිනෙන් දිනම දියුණුව කරා පා නගයි. එමෙන්ම අයහපත් ස්‌ත්‍රියක්‌ හා විවාහ වූ පුරුෂයාද ඒ හා සමානව පරිහානියට පත්වේ. මෙම ලිපියෙන් අදහස්‌ කරන්නේ පුරුෂයකුගේ විවාහ දිවිය සාර්ථකවීමට හේතුවන ස්‌ත්‍රියකගේ වාසනා ගුණය පිළිබඳවයි.
ස්‌ත්‍රියකගේ කේන්ද්‍රයක චන්ද්‍ර, ශුක්‍ර, කුජ, ගුරු යන ග්‍රහයන් සිව්දෙනා බලවත්වී නම් එය ඉතා බලවත් පිහිටීමක්‌ වෙයි. තුන, පහ, හත, එකොළහ යහපත්ව පිහිටා තිබීම, ලග්නයේ බලවත්වීමත් එසේමය.

හතේ ත්‍රිකෝණයක්‌ වූ දෙවැන්න විවාහය පිළිබඳව බලවත් ස්‌ථානයයි. එහි ග්‍රහයකු සිට හත දකීනම් එයද ඉතා යහපත්ය. යම් ස්‌ත්‍රියකගේ හත්වැන්න එක ග්‍රහයෙකුගෙන් යුක්‌තව හෝ එක ග්‍රහයෙකුගේ දෘෂ්ඨි ලැබ තිබේනම් ස්‌වාමියාට ප්‍රියවේ. ශුභයින් දෙදෙනකුගෙන් යුක්‌තව හෝ දෙදෙනකුගේ දෘෂ්ඨි ලැබ තිබේනම් ආචාර සම්පන්නවේ. ශුභයින් තිදෙනෙකුගෙන් යුක්‌තව හෝ තිදෙනෙකුගේ දෘෂ්ඨි ලැබ තිබේනම් ඉතා යහපත් උසස්‌ තැනැත්තියක්‌ වේ. බුධ උච්චව හත්වැන්නේ සිටියදී උපන් තැනැත්තියගේ ස්‌වාමි පුරුෂයා වඩා රූප සම්පත්තියෙන් යුත් ආගමික භක්‌තියක්‌ ඇති ලේඛන කටයුතුවලට ඇළුනාවූ දක්‍ෂ උගත් අයෙකුවේ.

ගුරු උච්චව හයේ සිටියදී උපන් තැනැත්තිය ස්‌වකීය ක්‍රියාවෙන් හා වස්‌තුවෙන් සතුටට පත්වන්නා වූ ස්‌වාමි පුරුෂයාට කීකරු ඉතා යහපත් විනීත තැනැත්තියක්‌ වෙයි. ස්‌වාමිපුරුෂයාද එසේම ගුණවතෙකු වෙයි. ශනි උච්චව හතේ සිටියදී උපන් තැනැත්තියගේ ස්‌වාමි පුරුෂයා ධනවත්, බලවත් උතුම් මහතෙකුවෙයි. ශනි දුර්වලව හෝ නීචව සිටියොත් ඊට වෙනස්‌ වූවෙකු වේ.

රාහු හතේ උච්චව සිටියදී උපන් තැනැත්තිය බලවත් ස්‌වාමි පුරුෂයකුගේ භාර්යාව වෙයි. රාහු දුබලව හෝ පාපයන්ට පෙනෙමින් හතේයෙදීම අසුබ පිහිටීමකි.

කුජ නීචව හෝ අසුබ අවස්‌ථාවට පැමිණි පාපයන්ට පෙනී හත්වැන්නේ සිටියහොත් විවාහය කල් පසුවේ. අවුල් වියවුල් සහිතයි. කරදරමැද විවාහ ජීවිතය ගෙවීමට සිදුවෙන අතර විවාහයෙන් වෙන්වීමට හෝ ස්‌වාමියාට වැඩිකල් ජීවත්වීමට හෝ නොහැකි වේ. එම නිසා අඟහරු හතේ ඇති යුවතියත් විවාහයේදී හොඳින් පොරොන්දම් සහ සුබ තත්ත්වයන් පිරිස්‌සිය යුතුවෙයි. යම් ස්‌ත්‍රියකගේ රාහු හා සෙනසුරුත් නවාංශකයක නම් ස්‌වාමියාට පමණක්‌ නොව දරුවන්ටද හානි පැමිණිමේ තත්ත්වයක්‌ ඇත.

අඟහරු මකරයේ සිටියදී ගුරු මීනයේ පිටියහොත් එකල උපන් තැනැත්තියද ඉතා උසස්‌ භාර්යාවක්‌ වෙයි. ස්‌වාමි පුරුෂයාද ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්‌ වෙයි. චන්ද්‍රයා උච්චවී ස්‌ත්‍රී කේන්ද්‍රයක බලවත් පිහිටීමකි. දැකීමට ප්‍රිය උපදවයි. බොහෝවිට සුරූපි, යහපත් සිතක්‌ ඇත්තියක්‌ද වෙයි.

ස්‌ත්‍රී කේන්ද්‍රයෙහි චන්ද්‍රයාට බලවත්වෙයි. ඊළඟට කුජය, චන්ද්‍රයාට හයේ අටේ එකට හෝ වෙන වෙනම හෝ බුධ, ගුරු, සිකුරු සිටීමෙන් අධියෝගය යෙදේ. දෙදෙනකු නම් මධ්‍යම වශයෙන්ද එකකුනම් අඩු වශයෙන්ද යෝගය යෙදෙයි. මොවුන්ගෙන් එක්‌ කෙනෙකු හෝ දෙදෙනකු හෝ තිදෙනෙකුට හත පෙනේනම් ඒ ඒ අනුව බලවත් වේ. මෙම යෝගය සම්පූර්ණයෙන්ම යෙදුන ස්‌ත්‍රිය සියලු දෙයින්ම සම්පූර්ණ වූ රජෙකු හා සමාන කෙනෙකු හා විවාහ වන බව පැවැසේ.
ස්‌ත්‍රි කේන්ද්‍රයක ග්‍රහයන් සිව්දෙනෙක්‌ උච්චව සිටියේ නම් ඇය රජ බිසවක හා සමාන වන අතර එවන් ස්‌ත්‍රියක හා සමඟ විවාහපත් පුරුෂයා සමාජයේ ඉහළ තැනක වැජඹෙන්නෙකු බවට පත්වෙයි. පුරුෂ කේන්ද්‍රය බලයෙන් හීනවූවත් රවි, කුජ, ගුරු, ශනි ග්‍රහයන් කේන්ද්‍රස්‌ථාන වූ ලග්නය, හතර, හත, දහය යන රාශිවල උච්චව සිටීනම් ඇගේ පුරුෂයා දේශපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ තැනක වැජඹෙන උසස්‌ සමාජය ඇසුරුකරන වැඳුම්, පිදුම් ගෞරවය ලබන අයෙකුවන අතර ඉතා ඉහළ සැප සම්පත් භුක්‌ති විඳින්නෙක්‌ද වේ.

ස්‌ත්‍රි කේන්ද්‍රයක දෙවැන්නේ කුජ පිහිටීම පුරුෂයාගේ විවිධ ගති පැවැතුම් හා ජීවන තත්ත්වයන් වෙනස්‌ කිරීමට හේතුවේ. විවාහයට පළමු නාස්‌තිකාර, සෙල්ලක්‌කාර ජීවිත ගතකළ නොමනා ගති පැවතුම්වලින් යුතුව සිටි පුරුෂයන් පවා යහමගට පත්කර ඔවුන් යහපත් ලෙස අවනතකර ගැනීමේ හැකියාව, ශක්‌තිය කුජ දෙවැන්නේ පිහිටි කාන්තාව සතුව පවතී. කුජ සමඟ රවිද දෙවැන්නේ තැන්පත්ව සිටියේ නම් එම තත්ත්වය තවදුරටත් යහපත් ලෙස හරවා ගත හැකි වන අතර එම කාන්තාව ලබන ස්‌වාමි පුරුෂයා ධනයෙන් මෙන්ම බලයෙන්ද අනූන කීර්තිමත් අයෙකු වේ.

යම් ස්‌ත්‍රියකගේ 6.8.12 ස්‌ථාන හැර වෙනත් ස්‌ථානයක චන්ද්‍රයා උච්චනම් සුරූපී යහපත් සුසිල වූ ගුණයන්ගෙන් හෙබි සිත් ඇත්තියක්‌වෙයි. දෙවන්න වූ ධන ස්‌ථානයට අධිපති ග්‍රහයා අටවැන්නේ ඇති කාන්තාව සිය සැමියාගේ ධනයට හිමිකාරියක්‌ වනවා මෙන්ම ඇයට දායාදයක්‌ද අවශ්‍ය නොවේ. සැමියාට නිරතුරුව ධනය ලබා දෙන්නියකි. එසේම කාන්තාවකට දරුවන් සම්බන්ධ ග්‍රහ තත්ත්වයන්ද ඉතාම බලවත්ව තිබිය යුතුයි. එම බලවත් තත්ත්වය පස්‌වැන්න සම්බන්ධව බැලිය යුතුවෙයි. පස්‌වැන්නේ අධිපතියා පස්‌ වැන්නේ සිටින ග්‍රහයාගේ බලවත් බව හෝ දුර්වලත්වය පිළිබඳවද බැලිය යුතුවෙයි. තවද පස්‌වැන්න අධිපතියා දකින සුබ හෝ පාප ග්‍රහයන් නිසා දරුවන් ඇතිවීම හෝa නැතිවීම හා ඒ සම්බන්ධ කරදර හෝ සිදුවේ. විශේෂයෙන් බ්‍රහස්‌පති දරුවන්ට අයිති ස්‌ථානයේ සිටීම සුබයි. 5 අධිපතියා නවයේ සිටීනම් කුලවංශය බබලවන්නා වූ උසස්‌ තේජවන්ත පුත්‍රයන් ලැබෙන මාතාවක්‌ වේ. උසස්‌ කුල කාන්තාවක්‌ වීමේ නියම පිහිටීම මෙය ලෙස සැලකේ. විශේෂයෙන් රවි 5 අධිපතිව 9 වැන්නේ සිටියොත් ඉතා උසස්‌ පුත්‍ර රත්නයක්‌ ලබන්නීය.

ස්‌ත්‍රියකට වඩාත් සුදුසු වන්නේ ස්‌ත්‍රී රාශියයි. ස්‌ත්‍රී රාශියක ඉපදී සඳු, රවි ග්‍රහ සංයෝගය ස්‌ත්‍රී රාශියක වී නම් ඇයගේ ස්‌වාමි පුරුෂයා යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුත් ධෛර්ය සම්පන්න පුද්ගලයෙක්‌ වේ. මෙවැනි ග්‍රහ පිහිටීම් යෙදී ඇති ස්‌ත්‍රියක්‌ හා විවාහවීමෙන් පුරුෂයාට යෙදී ඇති අරිටු යෝගවල බලයද හීනවී යන බව ජ්‍යෝතිෂයේ සඳහන් වෙයි.

ලග්නය සිංහය වී එහි චන්ද්‍රයා සිටියේ නම් ලග්නයේ උදාවන ත්‍රිංශාංශකය කුජගේ නම් ඇය පුරුෂයකු වැනි ආකාර ඇති ප්‍රබල තැනැත්තියක්‌ වෙයි. ශනිගේ නම් බොහෝ ඇවිදින්නියක්‌ වෙයි. එය ගුරුගේ නම් ඉතා යහපත්වේ. ධනවන්තියකු සිකුරුගේ නම් අධික වීර්ය ඇත්තියක්‌වේ. ස්‌වාමි පුරුෂයාට ප්‍රියවේ. වෘෂභ, තුලා දෙකින් එකක ලග්නයවී වෘෂභ තුලා දෙකින් එකක චන්ද්‍රයාත් සිටියදී ලග්නයේ උදාවන ත්‍රිංශාංශකය සිකුරුගේම වුවහොත් එම තැනැත්ති ගුණ නුවණින් අනූන සුරූපී ස්‌වාමි භක්‌තිය ඇත්තාවූ ස්‌වාමි පුරුෂයාට ප්‍රියවූ යහපත් භාර්යාවක්‌ වෙයි.

0 අදහස් දැක්වීම්:

Post a Comment