Posted by Unknown On 11:22 AM

නැකැත් සෑදීම යනුවෙන් පොදු ජන ව්‍යවහාරයේ භාවිත වුවද එය නිවැරදි වන්නේ ශුභ මුහුර්තයක් සෑදීම යනුවෙනි. අස්විදයේ සිට රේවතිය දක්වා නැකැත් 27 න් යම් දවසක යම් නැකතක් පවතීද එය ගෙවීයත්ම තවත් නැකතක් උදාවේ. මේ අනුව සෑම දිනකම සෑම මෙහොතකම ස්ථිර ලෙසටම නැකැතක් ඇත. මේ අනුව නැකතක් යනු යම් කිසි දවසක් තුලnසැඟවී ඇති ඉතාමත්ම ශුභ අවස්ථාව මතු කර පෙන්වීමයි. ජ්‍යොතිෂයේදී මෙන්ම ඊට සම්බන්ධ වාස්තු විද්‍යාවේදීද ඉතාම ප්‍රයෝජනවත්වූ නිරන්තරයෙන්ම ක්‍රියාත්මකව පවතින්නාවූ ප්‍රධාන කොටසක් වන්නේ ශුභ මුහුර්තයක් සෑදීමයි. මෙය ඉතා සංකීර්ණ වූ කටයුත්තක් වනඅතර එම විෂය හදාරන්නන්ට ඒ බව පසක් වනු ඇත.


ශ්‍රී ලංකාවේ නැකැත් සෑදීම මුලින්ම සිදු කර ඇත්තේ ගොවිතැන් කටයුතු සඳහාය. අනෙකුත් සෑම කටයුත්තක් සඳහාම ශුභ මුහුර්තයකට අනුව කටයුතු සිදු කෙරුනි. දෝෂ අවම කර ගැනීමේ ක්‍රමවේදයන් නක්ෂත්‍ර ශාස්ත්‍රය තුල ඇති බැවින් නැකත බලවත් වීම හා දෝෂ භංග වීම ගැන මනා ලෙස අවබෝධය ලබා තිබීමෙන් ගුණ බහුල අගුණ අවම වනසේ නැකතක් පිළියෙල කිරීමට හැකි වේ. නැකතක් පිළියෙල කිරීමේදී සැලකිය යුතු කරුණු වන්නේ ශුභ දවසක් තෝරා ගැනීම, රාහු කාලය මඟ හැරීම, ශුභ හෝරාවක් තෝරා ගැනීම යන කරුණු වේ. ශුභ දවසක් තෝරා ගැනීමේදී සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දවස් ශුභ දවස් ලෙසද සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා අශුභ දවස් ලෙසද ගණන් ගැනේ. රාහු කාලය දිනකට පැය 1 ½ කට ආසන්න කාලයක් පවතින අතර දින අනුව වේලාවන් වෙනස් වේ. රාහු කාලයේ ශුභ කටයුතු කරනු නොලැබේ. ශුභ හෝරා ලෙස පිළිගනු ලබන්නේ සඳු, බුද , ගුරු , සිකුරු යන හෝරාවන්ය. කුජ , ශනි , රවි හෝරා අශුභ හෝරා ලෙස ගණන් ගැනේ. දවසේ පංචාංගයද ශුභ විය යුතුය.

රවි හෝරාවෙන් ප්‍රභූන් දැකීම, රාජකාරී කටයුතු භාර ගැනීම , අධ්‍යයන කටයුතු ආදියට ශුභ වේ.

සඳු හෝරාව සමස්ථයක් ලෙස සියළුම ශුභ කටයුතු වලට යහපත්ය.

කුජ හෝරාව යුද කටයුතු , ගොවිතැන් කටයුතු , මැණික් ගැරීම හා භූමිය පිලිබඳ කටයුතු වලට සුදුසුය.

බුධ හෝරාව ශාස්ත්‍රීය කටයුතු , අධ්‍යාපන හා විභාග කටයුතු ආදියට යහපත්වේ.

ගුරු හෝරාව පුණ්‍ය කටයුතු මුල්‍යමය කටයුතු , විවාහ කටයුතු ආදියට ශුභවේ.

කිවි හෝරාව යාන වාහන කටයුතු ,ගමන් බිමන් , ප්‍රිය සම්භාෂණ වලට සුදුසුය.

ශනි හෝරාව පැවිදි කිරීම , දානමය කටයුතු,වෙහෙර විහාර ඉදි කිරීම් ආදියට යොදා ගත හැකිය.

මේ අයුරින් අදාල කටයුත්තට ගැළපෙන හෝරාවක් තෝරා ගත යුතු වන්නේය.
පංචම කාල හෝරාව සහ සූක්ෂම කාල හෝරාවන්ද හෝරාවකට අයත්වේ.

ලග්න හා නැකැත් සීහුම පරීක්ෂා කිරීමෙන්ද, ශුභ මුහුර්තය නැකත හිමි කරුට සීහේද යන්න සහ එයින් නිසි පල අත්වේද යන්න බැලිය යුතුවේ. මේ ආදී වශයෙන් ශුභ මුහුර්තයන් සෑදීමේ දී තවත් කරුණු කාරණා බොහොමයක් පිරික්සිය යුතුවේ. මේ අනුව නැකතක් සෑදීම යනු ලෙහෙසි පහසු කරුණක් නොවන බව වැටහෙනු ඇත.

0 අදහස් දැක්වීම්:

Post a Comment