ජ්‍යෝතිර්වේදියා ගැන
අලුතින් විවාහ වීමට බලාපොරොත්තු වූ යුවළක් පොරොන්දම් පරීක්ෂා කළෝය. එය බොහෝ දුරට ගැළපෙන බව සුප්‍රසිද්ධ ජ්‍යෝතීර්වේදීන් දෙදෙනකුම සහතික කර තිබුණි. දෙපාර්ශ්වයම මීට එකඟ විය. මේ අතර නිකමට වාගේ නගරයට ගිය විටෙක එහි සිටි දෛවඥයකු හමුවී මේ දෙදෙනාගේ කෙන්ද්‍ර අනුව විවාහයට සුදුසු කොයි කාලයේදැයි මනාලයාගේ පියා විමසා බැලුවේය. ඔහු කීවේ මේ දෙදෙනාගේ කේන්ද්‍ර නොගැළපෙන බවත්, විවාහය අනුමත නොකරන බවත් ය. මෙහිදී එම දෛවඥවරයා භාවිතා කළ වචන හා අනාවැකියට මේ සේවාදායකයා කොතෙක් බියට පත් වීද යත් මෙම විවාහය අවලංගු කිරීමට තීරණය කළේය. එහෙත් පසුව අනාවරණය වූයේ මේ දෛවඥයකු යයි කියා ගන්නා පුද්ගලයා මෑතකදී ජ්‍යෝතිෂය ඉගෙනීමට ආරම්භ කළ ශිෂ්‍යයකු බවය.
මෙයින් අනාවරණය වන්නේ කුමක්ද? නාමපුවරුවක් තිබූ පමණින් ජ්‍යෝතිෂ දැනුම ඇති අය හඳුනා ගත නොහැකි බවයි. වෛද්‍ය, නීතිඥ, ඉංජිනේරු ආදී වෘත්තිකයන්ට පිළිගත් විභාගවලින් සමත් වූ සහතික තිබේ. ජ්‍යෝතිෂයට එවැන්නක් නැත.
මේ අනුව සේවාදායකයා විසින් ජ්‍යෝතිෂවේදියකු හඳුනාගත යුත්තේ ඔහුගේ සේවාවන්වල සාර්ථකත්වය ගැන කාලයක් තිස්සේ ලබන අද්දැකීම් වලිනි.විභාග සමත්වූ පලියෙන් සහ වයසින් මුහුකුරා වැඩිහිටි වූ පමණින්ද සාර්ථක අනාවැකි පවසන ජ්‍යෝතිෂවේදියෙකු විය නොහැකිය. ජ්‍යෝතිර්වේදීන් ලෙස පෙනී සිටින සෑම දෙනෙකුම සමාන දැනුම ඇති අයද නොවේ.එයට පූර්ව ආත්මීය වශයෙන්ද පැවත එන හැකියාවක් ඔවුන් සතුවිය යුතුය.
නවාංශකය අනුව ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කිරිම ගැන
දවසක් ගෙවෙන විට රාශි දොළහ ද ගෙවී යයි. කිසියම් රාශියක් නැඟෙනහිර ක්ෂිතිජයේ උදාවන විට එය උපන් ලග්නය වෙයි. මෙම රාශිය කොටස් නවයකට බෙදූ විට නවාංශකය නම් වේ. ඒවා ස්ත්‍රී හා පුරුෂ වශයෙන් වෙන් කොට තිබේ. නවාංශකය පුරුෂ නම් උපන් ළමයා ද පිරිමි ළමයකු විය යුතු යෑයි පැරෑණි මතයක් තිබේ. මේ න්‍යාය අනුව උපන්නේ පිරිමි ළමයෙක් දැයි අසා නෑ දුවෙක් කී විට එහෙනම් වෙලාව වැරදියි කියා වේලාව වෙනස් කර ස්ත්‍රී නවාංශකය උදාවන වේලාවට සංශෝධනය කරයි.
එහෙත් නවාංශකයක් විනාඩි 12 – 14 පමණ වේ. මේ පිරිමි නවාංශකය තුළ පිරිමි ළමයින් ම උපදින්නේ නැති බව රෝහල්වල සිදුවන දරු ප්‍රසූති වේලාවන් පරීක්ෂා කළ විට දැනගත හැකිය. මේ නිසා ස්ත්‍රී පුරුෂ භාවය අනුව උපන් වේලාව වෙනස් කිරීම බරපතළ වරදකි. එවැනි නියමයන් පුරාණ ග්‍රන්ථවල නැත.
රාහු කාලය ගැන
රාහු කාලය කිසිදු සුබ කටයුත්තකට නොගත යුතු යෑයි මතයක් ද පවතී. මේ අනුව රාහු කාලය තුළ නැකත් සාදා දීමට බොහෝ දෛවඥ මහතුන් ඉදිරිපත් වන්නේ නැත. රාහු ගේ ක්‍රියාව සැඟවීම, වසා තැබීම ආවරණය කිරීම වේ. බුද්ධිය වසා දමන හා ප්‍රඥාව අවුල් කරන නිසා රාහු කාලය අධ්‍යාපන කටයුතුවලට පමණක් ශුභ නොවේ. රාහු කාලය තුළ සැඟවී කරන – රහස් කටයුතුවලට – විශේෂයෙන් සුබ වේ. එසේම උපතින් රාහු බලවත් වූවන්ට ද රාහු කාලය නරකක් නොවන අවස්ථා තිබේ.මේ හැර අප රටේ පමණක් නොව ලොව පුරා බස්රථ දුම්රිය හා අහස් යානා ද රාහු කාලය තුළ පිටත් වන්නේය. රාහු කාලය ගැන හුඹස් බියක් ඇතිකර ගත යුතු නොවන බව මෙයින් පෙනේ.
දළ කේන්ද්‍රයෙන් පලාපල කීම ගැන
කේන්ද්‍ර කොටුවක් ඇඳ ග්‍රහයන් නවදෙනා ලියා මේ කේන්ද්‍රය බලා කුමක් කිව හැකි දැයි කෙනෙකු ඇසුවොත් කිව හැක්කේ කිසිවක්ම කිව නොහැකි බවයි. මැතිවරණ අනාවැකි සමයේ ද බොහෝ අවස්ථාවලද මේ කේන්ද්‍ර සටහන පමණක් බලා ලියන ලද අනාවැකි දකිමු. මෙයට හේතුව කුමක්ද? ලග්නයක් පැය දෙකකට ආසන්න වූ කාලයක් පවතී. මේ පැය දෙකකට ආසන්න කාලය තුළ රට පුරා උපන් හැම දෙනාගේම ද ලොව පුරා බොහෝ අයගේ ද ග්‍රහයන් සිටින රාශි සමාන වෙයි. එහෙත් ඇත්ත තත්ත්වය වන්නේ ඔවුන් සියලු දෙනාම එකිනෙකාට වෙනස් බවය.
පැරැන්නෝ ලග්නය පමණක් නොව නවාංශක කුණ්ඩලිය ද පලාඵල කීමට භාවිතා කළහ. මෙකල සෑම ග්රහයෙකුම සිටින රාශිය නොව අංශක හා කලා ගණන දක්වා නිවැරැදිව විනාඩි දෙක තුනකින් ගණනය කර ගත හැකි ක්‍රම තිබේ. දියුණු පරිගණක මෘදුකාංග බහුලය.
ග්රහයෙකු සිටින තත්ත්වය හරිහැටි නොදැන කේන්දර කොටුවක සිටින පමණින් පලාපල කීම මිථ්‍යාවකි.
ආගමික සම්බන්ධය ගැන
අපි නම් බුද්ධාගමේ නොවේ. අපි කේන්දර හදල නෑ. යන අදහස බොහෝ අබෞද්ධ සේවාදායකයන් ගෙන් අසන්නට ලැබේ. ඒ අය හිතන්නේ ජ්‍යෝතිෂය බුද්ධාගමට අයිති දෙයක් බවය. මිනිසුන් සැප දුක් විඳින්නේ දෙවියන්ගේ කැමැත්තට අනුව බව සමහර ආගම්වලින් උගන්වයි. කර්මයම සුව දුක් ලැබීමේ හේතුව බව නැතහොත් ප්‍රබල හේතුවක් බව බෞද්ධයෝ පිළිගනිති. හින්දු ධර්මය ද කර්මය පිළිගනී.
කෙසේ හෝ වේවා අපට පාලනය කිරීමට අපහසු බලවේගයක් අපව පාලනය කරන බව පෙනේ. මෙය ජ්‍යෝතිෂය මගින් හඳුනාගත හැකිය. සැප, දුක, ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා ලබන කාලය හඳහනේ ලියෑවී තිබේ. එය කිසිදු ආගමකට අයත් නැත. ජ්‍යෝතිෂය ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ විද්‍යාවක් ද නොවේ. ලංකාවටම ආවේණික ජ්‍යෝතිෂ ක්‍රම බොහෝ ඈත අතීතයේ සිට පැවතුණි.
මේ අනුව කුමන ආගමකට අයත් අයට හෝ ජ්‍යෝතිෂය තම දිවිමඟට උපයෝගී කර ගත හැකිය. එය ආගමක් හෝ ආගමික නායකයකුගේ ඉගැන්වීමක් ද නොවේ. ආගමට විරුද්ධව යැමක් ද නොවේ.
ජ්‍යෝතිෂය බුදු දහමට විරුද්ධද යන්න
මෙය ද තවත් මිථ්‍යා මතයකි. කර්මවාදය සත්‍ය බව මනාව පෙන්වා දෙන වෙනත් විද්‍යාවක් නැත. කේන්ද්‍රයේ කොටු 12 න් කර්මඵල විස්තර කළ හැකිය. බුදුරජාණන් වහන්සේ ජ්‍යෝතිෂය ගැන පෙන්වා දී ඇත්තේ තිරශ්චීන විද්‍යාවක් වශයෙනි. ජ්‍යෝතිෂය පමණක් නොවේ. ළදරුවන්ට බෙහෙත් දීම, වාස්තු විද්‍යාව, ඇස්වලට බෙහෙත් දැමීම ආදිය ද තිරශ්චීන විද්‍යා ලෙස හඳුන්වා ඇත්තේ ඒවා කිසිවක් නිවනට මඟÊනොවන හෙයිනි. සිල්වත් බව පරිපූර්ණත්වය කරා යන විට මෙම විද්‍යාවන්ට පෙර නැටුම්, ගැයුම්, ගීතිකා, සුවඳ විලවුන් මුදල් යනාදිය ද අත්හළ යුතු බව එම සූත්‍රවල කියා ඇත. ජ්‍යෝතිෂය මෙන්ම වෛද්‍ය, ඉංජිනේරු නීති ආදී වෙනත් විෂයන් ද ඇත්තේ නිවන දැකීමට නොවේ.
රාහු සහ කේතු යයි ග්‍රහයින් නැති බව
විද්‍යාඥයන් විසින් අහස නිරීක්ෂණය කරන ලදුව බොහෝ ග්‍රහලෝක හා තාරකා සොයාගෙන ඇත. රාහු සහ කේතු නමින් ග්‍රහයන් දෙදෙනකු හමු වී නැත. මේවා මිථ්‍යාමත පමණක් යෑයි විවේචනය කරන අය ද සිටී. මෙහිදී ග්‍රහ යන වචනය පිළිබඳව සොයා බැලීම අවශ්‍ය වේ.
බුදුරජාණන් වහන්සේ ද ලෝක ගැන විස්තර කර තිබේ. ඒ අවකාශ ලෝකය හා සත්ත්ව ලෝකය ගැන කියෑවෙන සූත්‍රවලදී ‘ග්‍රහයා’ යන වචනය හමුවන්නේ නැත. ග්‍රහ යන්නේ තේරුම වසා ගැනීම හෙවත් ග්‍රහණය කර ගැනීම වේ. පරාශර ආදී සෘෂිවරුන් ග්රහනය කරන නිසා මෙසේ හැඳින්වූ බලවේග නවය නවග්‍රහයින් වෙයි. මෙයින් රාහු සහ කේතු යනු අහසේ උදාවන ගණිතමය ලක්ෂ්‍ය දෙකකි. එනම් පෘථිවිය සූර්යා වටා යන විට සටහන් කළ හැකි රේඛාවන් සඳු, පෘථිවිය, වටා යන විට සටහන් කළ හැකි රේඛාවන් කැපෙන ලක්ෂ්‍ය දෙකයි. මේවා අදෘශ්‍යමාන ස්ථාන වේ. එය සඳුගේ උදාවත් බැසීමත් සිදුවන තැන් බව පෙනේ. මේ අනුව රාහු කේතු යනු දුරේක්ෂ වලට නොපෙනෙන නමුත් ගණිතමය සිද්ධාන්ත අනුව දැන ගත යුතු ලක්ෂයන් වේ.
ග්‍රහයන් ගමන් කරන්නේ පෘථිවිය වටා නොවන බව
කේන්ද්‍රයක කොටුවල ග්‍රහයන් සටහන් කර ඇත්තේ පෘථිවිය වටා ඇති ආකාරය අනුවය. එහෙත් ග්‍රහයන් චලනය වන්නේ හිරු හෙවත් සූර්යයා වටා ය. මේ අනුව ජ්‍යෝතිෂය මිථ්‍යාවක් බව ද කියන අය ද සිටී. නමුත් අපට පෙනෙන ආකාරයට සූර්යා උදේට පායා සවසට බටහිරින් බැස යයි. උදේ සවස හිරු රැස්වල ගුණය ද වෙනස් ය. පැළෑටිවල වර්ධනයට උදේ හිරු රැස් අවශ්‍ය වේ. අනෙකුත් ග්‍රහයන් ද මෙසේමය. ජ්‍යෝතිෂය ගොඩ නැගී ඇත්තේ ග්‍රහයන් ගමන් කරන ආකාරය අපේ ඇසට දෘශ්‍යමාන වන ක්‍රමය අනුවය. නැඟෙනහිර සිට බටහිරින් බැස යන බව පෙනෙන ග්රහතාරකා ඒ අනුවම කේන්ද්‍ර කොටුවල සටහන් කර තිබේ. හිරුගේ රැස් පතිත වන ඒ ඒ ග්‍රහයන් පෘථිවිය වෙත එල්ල කරන බලපෑම විවිධ වේ. කෘෂිකර්මාන්තයේදී සුබ නැකත් සාදන්නේ මෙම බලපෑම සැලකිල්ලට ගනිමිනි.
සිසේරියන් සැත්කම ගැන
සිසේරියන් සැත්කමක් මගින් තම දරුවා මෙලොවට බිහිකර ගැනීමට තරම් වෛද්‍ය විද්‍යාව මෙකල දියුණු වී තිබේ. එසේ නම් ඉතා හොඳ ග්‍රහ බලයක් සහිත නැකතකට තම දරුවා ඉපැද්දිය හැකි බවට විශ්වාසයක් ගොඩනැගී තිබේ. බොහෝ අය වෛද්‍යවරයාට ලබා දීමට නැකතක් සාදා ගැනීමට ද අපේක්ෂා කරයි. මෙය වූ කලී ස්වභාවිකත්වය ඉක්මවා යැමකි. ඉපදීම ද මරණය ද ස්වභාවිකව සිදුවිය යුතු දේ වන අතර දුකින් මිදීම සඳහා නිවන් දැකීම මිස ජීවිතය හානිකර ගැනීම අනුමත කර නැත. සියදිවි නසා ගැනීම හා ස්වභාවික මරණය යනු අහස හා පොළොව මෙන් වෙනස් දෙයකි. ස්වභාවිකව ඉපදීම හා බලෙන් ඉපැද්දවීම ද මීට සමානය.
සිසේරියන් ශල්‍ය කර්මය කළ යුත්තේ දරු ප්‍රසූතියට එය අවශ්‍යම විටකදී මිස ශුභ නැකතක් උදාවන විටදී නොවේ. මේ නිසා සිසේරියන් සැත්කම ජ්‍යෝතිෂයට අභියෝගයක් නොවේ. තවද කොතෙක් නැකත් සාදා උත්සාහ කළ ද ඒ වේලාව වැරදී යැමට තරම් පාරිසරික හේතුද මතු වන්නට පුළුවන.
පේන කීම, සාත්තර කීම ගුරුකම් හා ජ්‍යෝතිෂය
විවිධ වශී ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර, අඳුන බැලීම් ආදිය ගැන මාධ්‍ය මගින් කෙරෙන ප්රචාරවලදී මේ සියල්ල ජ්‍යෝතිෂය ලෙස වරදවා ගන්නා අය ද සුළුපටු නොවේ. ජ්‍යෝතිෂය යන වචනයම ගොඩනැගී ඇත්තේ ග්‍රහ තාරකාවන් ගේ ‘දිලිසීම’ යන අර්ථය ඇතිවය. එය කිසි විටෙකත් අංජනම්, පේන කීම්, ආරූඪවීම් ආවේශ ආදියට සම්බන්ධ නැත. ඒවා වෙනත් ගුප්ත විද්‍යාවන් වේ. හඳහනක් පරීක්ෂා කර බලා ඊට අවශ්‍ය ශාන්ති කර්ම නිර්දේශ කරන විට යන්ත්‍රයක් පළඳින මෙන් කීමට ඉඩ තිබේ. එසේ යන්ත්‍ර යනු වෙනත් විද්‍යාවකි. සෑම ජ්යෝතිර්වේදියකුම යන්ත්‍ර විද්‍යාව දන්නේ නැත. එය ශාන්තිකර්මවලට අයත් ය.
අංජනම් එළි, පේන කීම, අතබලා පලාපල කීම, දේවාරූඪ මගින් සාස්තර කීම, වශී ගුරුකම් හා විවිධ ගුරුකම් ආදියෙන් ජ්‍යෝතිෂය වෙන්කර ගැනීමට වගබලා ගැනීම අවශ්‍ය වේ. ඉහත බොහෝ ගුප්ත විද්‍යාවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් අවශ්‍ය නැත. එහෙත් ජ්‍යෝතිෂය සඳහා ගණිතය පිළිබඳ දැනුම ද ප්‍රඥාව ද වුවමනා වෙයි.
වෙනත් කරුණු
ඉහත සඳහන් කළේ ජ්‍යෝතිෂය හා බැඳී පවතින විවිධ මිථ්‍යා මත හා අදහස් සමූහයකි. තවත් බොහෝ කරුණු ද මෙයට අදාළ නමුත් ලිපිය දීර්ඝ වන නිසා විස්තර කිරීම අපහසු වේ. මැණික් පැළඳීම ද එවැන්නකි. ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙඳ සැලක ලග්නවලට හිමි මැණික් සඳහන් අලංකාර කාඩ්පතක් ප්‍රදර්ශනයට තබා ඇති අතර එය මැණික් පැළඳීමේ නියම ක්‍රමය නොවේ. ඒ ඒ මාසවලින් උපන් අයට හිමි මැණික් යන්නද වැරදි අදහසකි. ලග්න දොළහක් වන අතර මාස ද දොළහකි. මේ අනුව එක ලග්නයකින් උපන් අය ලංකාවේ පමණක් ලක්ෂ පහළොවක් පමණ සිටී. මේ සියල්ලන්ටම එකම මැණික ගැලපේද? වරදවා මැණික් පැළඳීමෙන් මරණයට ද පත්විය හැකිය.
පොරොන්දම් ගැළපීම පමණක් ජීවිතාන්තය දක්වා සතුටින් සිටීමට ඉවහල් වන්නේය යන්නද මිථ්‍යාවකි. හොඳට පොරොන්දම් ගැළපුන යුවළකට ද බරපතළ අපල කාල සීමාවක් උදාවන බැවිනි. ඒ කාලයට අදාළ ශාන්තිකර්ම ආදිය කර ගැනීමට ක්‍රියා නොකළහොත් විවාහය කඩාකප්පල් වීමට ඉඩ තිබේ.
බටහිර දියුණු රටවල් ජ්‍යෝතිෂය හා දේව ඇදහිලි නොකරන අතර ඒවා බැහැර කරයි යන්නද සත්‍යයක් නොවේ. එඩ්ගාකේසී, නොස්ටුඩාමුස් ආදී ලෝක ප්‍රසිද්ධ අනාවැකිකරුවන් බිහි වූයේ පෙරදිග නොවේ.
“කේන්ද්‍රවල ඇති අපල දැන ගත් විට අධෛර්යයට පත්වෙනවා” ඒ නිසා එය බැලීම අවශ්‍ය නැතැයි යන්නද මිථ්‍යා මතයකි. කේන්ද්‍ර පරීක්ෂාවද රෝග පරීක්ෂාවකට සමානය. රෝගය පරීක්ෂා කරන වෛද්‍යවරයා රෝගයත්, එය වළක්වා ගන්නා ආකාරයත් කියයි. හඳහන පරීක්ෂා කරන දෛවඥයා ද අපලයත්, එය වළක්වන ආකාරයත් කියයි.
ජ්‍යෝතිෂය මිථ්‍යාවක් නොවේ. එහෙත් ජ්‍යෝතිෂයෙන් ප්‍රයෝජන ගැනීමට නම් එය වටා ඇති මිථ්‍යාවන් හඳුනාගත යුතු වේ.
0 අදහස් දැක්වීම්:
Post a Comment