Posted by Unknown On 7:27 AM


අඟහරු හෙවත් කුජ ග්‍රහයා ජූනි මස 16 වන දින තම සම රාශියක් වූ වෘෂභයේ සිට සතුරු රාශියක් වන්නා වූ මිථුනයට පැමිණේ.අළුයම 01. 08 සිදුවන මෙම කුජ මාරුවෙන් පසු  කුජ ග්‍රහයා මෙම වසරේ ජූලි 31 වනදා අළුයම 2.19 වනතෙක් නිවෘත ගමනක යෙදෙමින් මිථුන රාශියේ ගමන් කරයි.මෙකී ග්‍රහ මාරුව තුළින් රටට සහ 12 ලග්න හිමියන්ට සිදුවන පල විපාකයන් පහත පරිදි සංක්ෂිප්තව විස්තර කරමු.

නව දේශපාලන ප්‍රවාහයන් සහ සංකූලතාවයන් බොහොමයක් ඉදිරි දිනයන්හි ඇතිවන අතර කැළඹිලි සහගත තත්වයන් බහුල සමයක් ලෙස හැදින්විය හැකිය.නමුත් එවැනි කැළඹිලි ඇති කරන්නවුන්ට ඔවුන් බලාපොරොත්තු වන යම් යම් දේ වැළකී යා හැකි අතර පාලක පක්ෂයට ඒවා සමනය කරගත හැකි වනු ඇත.

මේ දිනවල නිතර අසන්නට දකින්නට ලැබෙන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම්, දේශපාලන අර්බුධ තත්වයන් උද්ඝෝෂණ උපවාස තත්වයන් තව දුරටත් වර්ධනය විය හැකි අතර ගංවතුර තත්වයන්, වසංගත රෝග, උද්ඝෝෂණ ආදිය ඇතිවිය හැකිය.විශේෂයෙන් රටේ අස්ථාවර බව නිසා මහජනතාව තුල ඇතිවන නොසන්සුන් කම් ආදිය නිසා ගැටළුකාරී වටපිටාවක් ඉදිරියේදී නිර්මාණය වන අතර පවතින් තත්වයන් වර්ධනය විය හැකිය.නිරන්තරයෙන් උණුසුම් පුවත් මැවෙන වෙනදාට වඩා හදිසි අනතුරු වල යම් ඉහළතාවයක් ඇතිවිය හැකි කාල සීමාවක් ලෙස ඉදිරි මාස 2 ක පමණ කාලය හඳුන්වා දිය හැකිය.

සැලකිය යුතුයි : පහත සඳහන් වන ලග්න පලාපලයන් පොදුවේ අඩු වැඩි වශයෙන් ලග්න 12 ට බලපාන අතර පෞද්ගලිකව එකිනෙකාගේ ජන්මපත්‍රයන්හි උත්පත්ති ග්‍රහ බලයන් මත වෙනස් වේ.විශේෂයෙන් ගත කරන දශා අතුරු දශා ග්‍රහ දෘෂ්ටි, නැකත් ආදියත් මිථුන රාශියේ තැන්පත් වූ ග්‍රහයෙක් ඇත්නම් ඒ මතත් ආදී ලෙස අඩු වැඩි වශයෙන් යහපත් ප්‍රතිඵල ගෙනදිය හැකිය.පෞද්ගලිකව තමන්ට මෙම ග්‍රහ මාරුවෙන් ඇතිවන සුබා සුබ දැනගැනීම සඳහා අපව සම්බන්ධ කරගත හැකියි.



  • මේෂ ලග්නය 


සිතෙහි සතුට රජයයි 
අළුත් මිත්‍රයින් ඇසුරු කිරීමටත් එයින් ලාභ ප්‍රයෝජන අත්වීමටත් යහපත් කාලයකි.රැකී රක්ෂා වෙළ හෙළදාම් කටයුතු දියුණු වේ.දරුවන් ඇතුළු පවුලේ අය සමඟ ප්‍රීතිමත් විය හැකි අවස්ථා උදාවන අතර ආදායම් මාර්ග යහපත් වෙමින් විවිධ ජයග්‍රහණ අත්කරගෙන සැනසිලි සහගත ලෙස ජීවත් විය හැකි කාල සීමාවකි.ස්ත්‍රී පුරුෂ සබඳතා වර්ධනය වෙමින් පවතින් කාලයක් වන අතර බලාපොරොත්තු ඉටුවෙන විදේශ රැකියා උසස් අධ්‍යාපන කටයුතු හා බලාපොරොත්තු සාර්ථක වන කාල සීමාවකි.



  • වෘෂභ ලග්නය 


රැකී රක්ෂා දියුණුව 
මිල මුදල් වෙනදාට වැඩියෙන් වියදම් කිරීමටත් පවුලේ අය වෙනුවෙන් වැඩි ශ්‍රමයක් දැරීමටත් සිදුවන කාලයකි.වචනය ඉස්සරවීම නිසා හිතවතුන් අමනාප විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.ආගන්තුකයින් ලෙස අළුත් පුද්ගලයින් තමාගේ සමීපයට එන්න වෙර දරනු ලබන අතර ඔවුන්ගෙන් ප්‍රවේශම් වීම යහපත්ය.රැකී රක්ෂා වලින් ප්‍රගතියක් හිමිවන අතර විවිධ කටයුතු වලින් ලාභ ද ඇතිවේ.බෙල්ලේ හෝ දත්වල පීඩා තත්වයන් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.



  • මිථුන ලග්නය 


දුර බැහැර ගමන් බිමන් 
හිතවතුන් හා පවුලේ අය සමඟ දුර බැහැර ගමන් බිමන් යෙදේ.තරමක කේන්ති ගති ඇති වෙතත් නිහඬව සිටීමට උත්සාහ කරනු ඇත.අන් අයට උදව් උපකාර කිරීමට පෙළඹේ.නිතර ඇවිදිලි අධික විය හැකි අතර පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් වියදම් කිරීමටද සිදුවේ.පෙම්වතුන්ට සුබදායක වන අතර මංගල යෝජනා වලට ඉඩ ඇත.දරුවන්ගේ කටයුතු වලට වැඩි වෙහෙසක් දැරීමට සිදුවන අතර ඒවා සාර්ථක වේ.තම පුද්ගලික කටයුතු කෙරේ දක්ෂ වන අතර තරමක් වෙනදාට වඩා ඉවසීමකින් කටයුතු කිරීම සුදුසුය.



  • කටක ලග්නය 


වැය පක්ෂය ඉහළ යයි 
නිෂ්ඵල වියදම් ඇතිවීමට කරුණු යෙදෙන අතර දේපළ ඉඩකඩම් හා යාන වාහන සම්බන්ධ ගැටළු ඇතිවිය හැකිය.නෑ හිතමිතුරන් සමඟ අමනාපකම් ඇතිවීමට කරුණු යෙදෙන අතර රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් විය යුතුය.මිලමුදල් වියදම් කිරීම කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවක් දැක්විය යුතු අතර ශරීර සපයා හානි කරයි.වැටීම් තැලීම් හා සීරීම් ආදිය ඇතිවීමට නියමිතයි.කේලාම් ඕපදූප කියන්නන්ගෙන් ප්‍රවේශම් වන්න.අධ්‍යාපන කටයුතු යහපත් වන අතර මංගල යෝජනා යහපත්වේ.



  • සිංහ ලග්නය 


තනතුරු ලාභ හා උසස්වීම් 
තම තත්වය උසස් වන අතර කරගෙන යන කටයුතු දියුණු කරවයි.නව මිත්‍ර සබදකම් ඇතිවන අතර ඒ තුලින් වාසි සහගත වටපිටාවක් නිර්මාණය වේ.සතුරන් පරාජයට පත් වන අතර ආදායම් තත්වය යහපත්ව පවතා ගත හැකි කාල සීමාවක් වනු ඇත.දේශපාලන ක්ෂේත්‍රයේ සිටින්නන්ට යහපත් කාල සීමාවක් වන අතරම නව නිවාස නව ව්‍යාපාර ආදිය ඇරඹීමට සුබයි.පවුලේ දියුණුව හා දු දරුවන් නිසා සතුටු විය හැකි කාල සීමාවක් නිර්මාණය වේ.ආගම දහමට හිත යොමුවේ.පවුල් දිවිය යහපත් වන අතර විදෙස් ගමන් සඳහා ද යහපත් කාලයකි.



  • කන්‍යා ලග්නය 


රැකී රක්ෂාවන්හි දියුණුව 
මුල් භාගය තුළ සතුරු පීඩා අසනීප හා මුදල් වැය වීම් සිදු වුවද ජූලි මාසය වනවිට එම තත්වය යහපත් අතට හැරේ.ණය තුරුස් ඇත්නම් ඒවා ගෙවා දැමීමට හැකිවන අතර රැකී රක්ෂා රාජකාරි හා ව්‍යාපාර දියුණුවට පත්වන කාල සීමාවකි.දරු උපත්වලට සුබයි.නිවසේ දෝෂ තත්වයන් ඇත්නම් ඒවා ඉවත් කර ගැනීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වේ.මුදල් ඉතිරි කරගත හැකි වටපිටාවක් නිර්මාණය කරගත හැකිවන අතර කීර්තිය හා ප්‍රශංසාව හිමිවන කාලසීමාවකි.යහපත් අය ඇසුරටද පත්විය හැකි කාලයකි.



  • තුලා ලග්නය 


වියදම් අධික වේ 
මුදල් අතින් කරදර අවහිර ඇතිවන කාලයකි.ශරීර සනීපයට බාධා ඇතිවේ.සතුරු කරදර ආදිය ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.ණය මුදලක් හිමිවේ.ආවේගශීලී ගති වැඩිවිය හැකිය.අවුල් වියවුල් හා නඩු හබවලට බැසීමට සුදුසු කාලයක් නොවේ.නෑදෑ හිතමිතුරන් නිසා සිත් තැවුල් ඇතිවීමට ඉඩකඩ තිබේ.තම තත්වය කෙරෙහි නිතර සිතිය යුතුය.ආරක්ෂක අංශයන්හි නිරත අයට සුබයි.දරුවන්ගේ කටයුතු වලට යහපත් වන අතර පිනට දහමට එතරම් ඇල්මක් නොදක්වන කාලයකි.එදිනෙදා සියළු කටයුතු කෙරෙහි වඩාත් විමසිල්ලෙන් කටයුතු කළ යුතුවේ.



  • වෘශ්චික ලග්නය 


චිත්ත පීඩා ගෙනදිය හැකියි
ලග්න එරාෂ්ඨකයක් ද ගත කරමින් ගමන් කරන බැවින් මේ කාලය තුල ආගම දහමට වැඩි අවධානයක් යොමු කරන්න.සතුරු පීඩා කරදර බාධක ආදිය ඇතිවිය හැකියි.නිතර සුළු අසනීප වලටත් අධික වියදම් ඇතිවීමටත් කරුණු යෙදේ.පදිංචි ස්ථානයන්හි හෝ රැකියාවන්හි වෙනස්කම් ඇතිවිය හැකි අතර ණය තුරුස් වීමෙන් වළකින්න.අධික ගමන් බිමන්ද නිරන්තරව යෙදෙන අතර දූදරුවන් වෙනුවෙන් ද වැඩි වෙහෙසක් දැරීමට සිදුවන කාලයකි.



  • ධනු ලග්නය 


සමාජ සේවා කටයුතු වලට යොමු වේ 
භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට අසනීප ගති ඇතිවිය හැකිය.අවිවාහක අයට මංගල යෝග යෙදෙයි.හදිසි කෝපය පාලනය කරගත යුතුවේ.වැය පස ඉහල යන අතර නඩුහබ ආදියට වියදම් වේ.නෑ හිත මිතුරන් හා අමනාපකම් ඇතිවිය හැකි අතර උෂ්ණ රෝග අජීර්ණ ඇස් රෝග හා මුත්‍ර රෝග ආදිය හටගත හැකිය.තරඟ වාද විවාද ආදියට මුහුණදීමට එතරම් යහපත් කාල සීමාවක් නොවේ.රැකියා ස්ථාන මාරු ඇතිවිය හැකිය.සමාජ සේවා හා පොදු කටයුතු වලින් ගෞරවය හිමිවේ.



  • මකර ලග්නය 


වෙළඳ ව්‍යාපාර දියුණුව 
සතුරන් මර්දනය වේ.කරදර පීඩා ඇත්නම් අවම වී යයි.ප්‍රීතිමත් කාලයකි.උත්සව ආදියට සහභාගී වීමටත් නව හිතවතුන් හදුනාගැනීමටත් හැකිවන කාලයකි.උගතුන් ඇසුරෙන් ලාභ ප්‍රයෝජන අත් වන අතර ඇතැම්විට තනි මතයට ක්‍රියා කිරීමටද පෙළඹේ.වෙළඳ ව්‍යාපාර වලින් ජය ලැබේ.වැඩකරුවන් මුරණ්ඩු විය හැකි බැවින් කල්පනාකාරී වන්න.දරු ඵල අපේක්ෂා කරන අයට සුබයි.අනුන්ගේ වැඩ වෙනුවෙන් මහන්සි වීමට සිදුවන නමුදු එයින් අයහපතක් සිදු නොවේ.



  • කුම්භ ලග්නය 


උසස් අධ්‍යාපනයට සුබයි 
රැකියා අංශයන්හි හදිසි වෙනස්වීම් තත්වයන් ඇතිවිය හැකිය.හදිසි අසනීප ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.නිෂ්ඵල දේවල් වෙනුවෙන් වියදම් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.පවුල් ජීවිතය යහපත් වන අතර දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතු කාලයකි.පෙම් සබදතා ඇතිවිය හැකි අතර අළුත් නිවාස හා දේපළ මිලදී ගැනීමට හිතදෙයි.අහාරපාන වර්ග පිළිබඳව සැලකිලිමත් වන්න.



  • මීන ලග්නය 


ගෙවල් ඉඩම් වල දියුණුව 
ශරීරයට වෙහෙසකර ගති ඇති වෙතත් දැඩි සේ මහන්සි වී කටයුතු කල යුතු කාලයකි.ඇතැම් විට නෑදෑ හිතමිතුරන් හා ගැටළු තත්වයන් ඇතිවිය හැකි කාල සීමාවක් ද වනු ඇත.ආගමට දහමට වැඩියෙන් නැඹුරු වන කාලයකි.ඇතැම් විටක මහන්සියේ තරමටම ප්‍රතිඵල භුක්ති විදීමට අපහසු විය හැකිය.මිල මුදල් ඉතිරිකරගැනීමට සිත යෙදේ.අධ්‍යාපන කටයුතු සඳහා යහපත් වන අතර පවුලේ අයෙකු අසනීප විය හැකි කාලයකි.රැකියා කටයුතු වල උසස්වීම් සඳහා යහපත්ය.

0 අදහස් දැක්වීම්:

Post a Comment