Posted by Unknown On 9:53 AM


විවාහ ස්‌ථානය වන 7 වැන්නේ (කුජ) අඟහරු හෝ රවි හෝ රාහු හෝ සිටීම ඉතාම නරක වුවත් සෙනසුරු 7 වීම එතරම් අභුභ නොවේ. ලග්නයට හෙවත් 1 ට බුධ ගුරු දෙදෙනා දිග් බලව බලවත් වන අතර සඳු සිකුරු ග්‍රහයන් 4 වැන්නට දිග් බලය ඇතිකරයි. 7 වැන්නට ශනි බලවත්වන අතර රවි, කුජ 10 වැන්නට දිග් බලයි. සෙනසුරු 7 ට දිග්බල ග්‍රහයා වන විට දුෂ්කර අමාරු වැඩකටයුතුවල රැකියාවල යොදවයි. ශනි කම්කරුවා ලෙසද හඳුන්වයි.

7 වැන්න මගින් විවාහය ගැනද කියෑවෙන නිසා 7 වැන්නේ සෙනසුරු සිටීමෙන් සැමියා හෝ බිරිඳට හෝ බිරිඳගෙන් සැමියාට හෝ සැමියාගෙන් බිරිඳට හෝ කරදර සිත් තැවුල් අමනාප කම් ඇති කරයි. එහෙත් ශනි 7 සිටීමෙන්ම සහකරු හෝ සහකාරියට ජීවිත හානියක්‌ සිදුනොවේ. විවාහ ජීවිතයේ සතුට සැපත හීන කරයි. විශේෂයෙන් මුලදී නොව කල්යන විට මේ තත්ත්වය වැඩිවේ. ලිංගික වශයෙන් කල් ගත වෙද්දී විවාහ සැපතට රුචියක්‌ නොදක්‌වයි.

සෙනසුරු 7 වැන්නේ සිටින විට විවාහක යුවළගේ නිවස ප්‍රසන්න බවක්‌ දිස්‌නොවේ. බඩු බාහිරාදිය අපිළිවෙළට තැන් තැන්වල පවතී. සහකාරියගේ 7 වැන්නේ ශනි සිටිය හොත් නිවස අලංකාරයෙන් තොරවෙයි. පුරුෂයාගේ ශනි 7 නොසිටීමෙන් අශෝභන නිවස ගැන ඔහු බිරිඳ සමග කළහ කරගනී.

ලග්න අනුව ශනි 7 සිටීම මෙසේය. මේෂ ලග්න හිමියන්ගේ 7 වැන්න සිකුරුට අයත් තුලා රාශියයි. 10 අධිපති වන ශනි 7 වැන්නේ සිටීමෙන් විවාහයෙන් පසු වැඩකටයුතු දියුණු තත්ත්වයට පත්වේ. ප්‍රසිද්ධිය හා බාහිර ඔපය සඳහා සැලකිල්ලක්‌ දක්‌වයි. විවාහ සහකරු සහකාරිය තමාට ආදරය කරයි.

වෘෂභ ලග්න හිමියන්ගේ ශනි 7 වීමෙන් හැම දෙනෙක්‌ම හොඳින් ආශ්‍රයකරයි. නාගරික ජීවිතය ප්‍රිය කරයි. පිත් රෝග වමනය ඔක්‌කාරය වැනි රෝග ඇතිවිය හැකිය. රහස්‌ සෙවීමට දක්‍ෂවේ. මිථුන ලග්න හිමියන්ගේ ශනි 7 සිටීමෙන් ප්‍රසිද්ධියට හා ගෞරවයට පාත්‍රවේ. ගුරුට අයත් ධනුවේ ශනි සිටීම නිසා නිරහංකාරයි. විවාහයෙන් දායාද, දේපළ ලබයි. ආගම දහමට ලැදිවේ. කටක ලග්න හිමියන්ගේ ශනි 7 සිටීම (මකර) යෝගයකි. ලෞකික සැප ලබයි. කාමාශා වැඩීයි රාගිකයි. ආමාශගත ආබාධ ඇතිවේ. ඉඩකඩම් දේපළ රැස්‌කර ගනී. සිංහ ලග්නයට ශනි 7 වීම නිසා යටකී පරිදි කාමාශා බලවත්වේ. බාහිර අලංකාරයට විනෝදයට සිත් දෙයි. යහපත් විවාහ ජීවිතයක්‌ ගතකළ හැකිය. ආත්ම ගෞරවය රැකගනී. එහෙත් කේතු සමග ශනි සිටීම අශුභයි. කන්‍යා රාශියේ ශනි 7 සිටීමෙන් විවාහ කටයුතු ප්‍රමාද විය හැකිය. (මීන) හදිසි අනතුරුවලට ලක්‌විය හැකිය. විවාහයට එළඹෙන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ දේපළ ගතිගුණ ගැන තැකීමක්‌ නොකරයි. තුලා ලග්න හිමියන්ගේ සෙනසුරු 7 වැන්නේ සිටීම නිසා වැඩට දක්‍ෂයි. ක්‍රියාශීලියි. ආලය ප්‍රේමය මත විවාහය සිදුකර ගනී. කුජ 4 නම් ඉඩ කඩම් දේපළ ඇති අයකු වන්නේය. වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 7 වීමෙන් (වෘෂභ) වැඩකටයුතු අවුල්කර ගනී. විවාහ ජීවිතයද අවුල් සහගතයි. මිත්‍ර ආශ්‍රය පළුදුවේ. එහෙත් සකසුරුවම පවතී. ධනු ලග්න හිමියන්ගේ සෙනසුරු 7 සිටින විට (මිථුන) විවාහ වීමට උනන්දුව අඩුවේ. විරුද්ධවාදීන් සමග ආරාවුල් ඇතිකර ගනී. විවාහයෙන් පසු දරු ඵලද අඩුවේ. රැවටීම් මුලාවීම් වලට ලක්‌වේ. මකර රාශියේදී ශනි 7 සිටීමෙන් (කටක) උපායශීලීව කටයුතු කරයි. වෙද හෙදකම් ගැන සිත් යොමුවේ. වෘත්තියක්‌ ලෙස වෛද්‍ය සේවය ප්‍රිය කරයි. විවාහය ප්‍රමාද වේ. ස්‌ත්‍රියකගේ නම් ගර්භාෂයේ ආබාධ ඇතිවේ. කුම්භ ලග්නයෙන් උපන් අයගේ ශනි 7 සිටීමෙන් කරදර බාධක අභියෝග ජය ගනී. විවාහය ප්‍රමාද විය හැකිය. ශරීරයේ උෂ්ණාධික රෝග හට ගනී. මීන ලග්න හිමියන්ගේ ශනි 7 සිටීමෙන් වැඩකටයුතු ක්‍රමවත්ව කර ගනී. විවේකයට විනෝදයට වේලාවක්‌ නැති තරම්ය. විවාහ ජීවිතයේ සැප අඩුයි. ඇතැම් විට අවිවාහකව සිටීමටද පුළුවනි.

ඉහත කී ග්‍රහපිහිටීම් එකිනෙකාගේ ජන්මපත්‍ර අනුව වෙනස් විය හැකි අතර පළපුරුදු ජ්‍යෝතීර්වේදියෙකු ලවා තම ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගැනීම තුළින් නිවැරදි නිගමනයකට එළඹ අයහපත් ප්‍රතිඵල ඇත්නම් සුදුසු ශාන්ති කර්ම කරවීම තුළින් ඒවා සමනය කර ගත හැකිවනු ඇත.

0 අදහස් දැක්වීම්:

Post a Comment