Posted by Unknown On 10:17 AM

ශ්‍රී ලංකාව ලෝකයේ ඇති සුන්දරතම දිවයිනකි. වසර දහස්‌ ගණනකට නෑකම් කියන ලාංකික මුතුන්මිත්තන් විසින් පාරම්පරිකව පැවත ආ දේශීය වෙදකම බටහිර වෙදකම අභිබවා තිබුණු බව පෙනේ. මෙම දේශීය වෛද්‍ය ක්‍රමයට භාවිත වූයේ අපේ රටේ වැයවන ශාකයන්ය.

වර්තමානයට වඩා අතීතයේදී මෙම දේශීය වෙදකම බහුලව භාවිත වූ අතර වර්තමානයේදී බටහිර වෛද්‍ය ක්‍රමයට වැඩි නැඹුරුවක්‌ දැක්‌වීම දක්‌නට ඇත. ගහකොළ හොඳින් හඳුනන අපේ මුතුන් මිත්තන් ගහ කොළ දේවත්වයෙන් සැලකීමට පුරුදුව සිටි අතර ලෙඩ රෝග සඳහා අවශ්‍ය වන බෙහෙත් පැළෑටි සපයා ගත්තේ තම ගෙවත්තෙනි. ගැමියන්ට හා අසනීප තත්ත්වයන්වලට අත්බෙහෙත් බොහෝ ගැමියෝ දැන සිටි නිසා එදා වෛද්‍යවරයකු කරා යන අවස්‌ථා අල්ප විය.
තම ගෙවත්තේ ඉබේ හටගන්නා ඖෂධීය ශාකයන් උදුරා නොදැමීමට පැරණි ගැමියා පුරුදුව සිටි අතර ඖෂධීය පැළෑටි ගැන මනා දැනීමක්‌ ලබා තිබුණි.

වර්තමානයේ මෙම ඖෂධීය ශාකය නොහඳුනන නිසාම වල් පැළෑටි ලෙස සලකා ඒවා ගෙවත්තෙන් ඉවත් කරයි. මේ හේතුවෙන් හා ලංකාවේ බහුලව භාවිත කරන වල් නාශක නිසාත් බොහෝ වටිනා ඖෂධ ශාක අපේ පොළවෙන් වඳවී යැමේ තර්ජනයට මුහුණපා ඇත.

දේශීය වෛද්‍ය ක්‍රමයේදී රෝග රැසකට යොදාගන්නා විෂ්ණුක්‍රාන්ති නම් ශාකය වඩාත් ප්‍රසිද්ධ වනුයේ සර්ප විෂ විද්‍යාවෙහිය. විෂ ශරීරගත වූ විට නස්‌න කිරීම සඳහා විෂ්ණුක්‍රාන්ති ශාකය යොදාගනී. විෂ මුර්ජාවෙන් අප්‍රාණික වූවන් පවා නැගිටවිය හැකි බලයක්‌ ඇති වටිනා ඖෂධයක්‌ ලෙස හැඳින්වේ.

විෂ්ණුක්‍රාන්ති, නීලපුෂ්පි, අපරාජිකා, නීලක්‌රාන්තා, විෂ්ණු ක්‍රාන්දම්, විෂ්ණු කරන්දි, විෂ්ණු ගාන්ධි යනුවෙන් නම් රාශියකින් හැඳින්වෙන බව පැරණි ග්‍රන්ථවල සටහන්ව ඇත.
විෂ්ණුක්‍රාන්ති ශාකය “හරිප්‍රිය” නමින් ද හඳුන්වයි. හරි යනු විෂ්ණු දෙවියන්ට තවත් නමක්‌ වෙයි. විෂ්ණු දෙවියන් ප්‍රියකරන යන අරුත් දෙන හරිප්‍රිය මෙම ශාකයට තවත් නමකි.
කුඩා පඳුරක ආකාරයට වැඩෙන මෙම පැළෑටිය බිම මත දුවන හෝ වැතිරී වැඩෙන පැළෑටියකි. කඳේ ඉහළට එසවුණු මල් හටගනී. නිල්පාටින් යුත් කුඩා තාරුකා වන් මල් හටගන්නා ශාකයේ කොළවල කුඩා බූවක්‌ දක්‌නට ඇත. පත්‍ර ඉලිප්සාකාර හැඩයක්‌ ගනී.
වියළි සහ අතරමැදි කලාපවල මෙන්ම දකුණු පළාතේ හා උතුරු පළාතේ දක්‌නට ඇත.

මිනිස්‌ ශරීරයේ ඇතිවන වාත රෝග, මැලේරියා උණ, කක්‌කල්කැස්‌ස, මානසික රෝග, ඇදුම, මතක ශක්‌තිය වර්ධනයට ඉවහල් වන ඖෂධ නිපදවීමට මෙම ශාකයේ කොටස උපයෝගි කරගනී. මෙම ශාකය උතුරු පළාතේ පළාත් පුෂ්පයයි. විෂ්ණුක්‍රාන්ති ශාකයෙන් සිඳගන්නා තෙල් හිස ගැල්වීමෙන් හිසකෙස්‌ වර්ධනය වන බව කියවේ.

විෂ්ණු දෙවිඳුන් උදෙසා පූජා කරන පූජා වට්‌ටියේ සුවඳවත් මුල් අතර විෂ්ණුක්‍රාන්ති මුල් ද භාවිත වේ. පුරාණ ගැමියා විෂ්ණුක්‍රාන්ති වියළා කුඩු කර දුම් ඇල්ලීම සඳහා යොදාගෙන ඇත. මෙයින් මනා සුගන්ධයක්‌ පැතිරී යන අතර විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබී සෙනසුරු අපල දුරු වී නිවසට සෞභාග්‍යය උදාවන බව විශ්වාස කරයි. පුරාණ ගැමියා පානයක්‌ ලෙස ද මෙම ශාකය භාවිත කොට ඇත.

ඉවසාගත නොහැකි දුක්‌ පීඩා ගෙනදීම, අසීමිත කම්මැලිකම, නඩුහබවලට පැටලීම, වාහන අනතුරු, රෝග පීඩා වැනි සෙනසුරුගෙන් වන අපලයන් දුරලනු පිණිස විවිධ වූ ක්‍රියාමාර්ගයන් ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ ඇත. අපල දුරුවීමට ඇසුරු කළයුතු සහ රෝපණය කළයුතු තුරු ලතා ඇත. සෙනසුරු අපලයෙන් වන දොස සමනයට රෝපණය කළ යුතු ශාක අතරින් විෂ්ණුක්‍රාන්ති පැළෑටිය විශේෂ තැනක්‌ ගනී.

මෙම අගනා ඖෂධීය පැළෑටිය නිවස ඉදිරිපිට මෙන්ම ගෙවත්තේ රෝපණය කිරීමත් නිතර දර්ශනය වීමත්, ස්‌පර්ශ කිරීමෙනුත්, සාත්තු කිරීමෙනුත් සෙනසුරු ග්‍රහයාගෙන් වන අපල දුරු වී යන බව කියවේ.
මෙම ශාකය ගෙවත්තේ තිබීම නිසා නිවසට දේව ආකර්ෂණය වැඩි වී අමනුෂ්‍ය බලපෑම් ඇත්නම් ඒවා ද ඉවත් වන බව පැවසේ. විෂ්ණුක්‍රාන්ති මෙන්ම ගෙවත්තේ සිටුවා ඇති ඖෂධීය ශාකයන් පිස එන සුළඟ ආශ්වාස කිරීමෙන් ලෙඩ රෝග දුරු වී නිරෝගී සුවය ලැබීමට සමත් බලයක්‌ මෙවන් ඖෂධීය ශාකයෝ සතුව ඇති බව කියවේ.

0 අදහස් දැක්වීම්:

Post a Comment