Posted by Unknown On 11:45 PM


ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් ගිය සතියේ බදාදා පටන් සෑම බදාදා දිනකම ඔබවෙත පාඩම් මාලාවක් කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ දෙවන දිග හැරුම මෙසේ සටහන් කරමු.

පහත ලින්ක් එක මඟින් පළමු පාඩම් මාලාවට නැවත පිවිසිය හැකිය.
http://anuhasastrology.blogspot.com/2015/09/01_11.html

පසුගිය සතියේ සඳහන් කළ පරිද්දෙන්ම අද අපි ජ්‍යෝතිෂය බෙදෙන ප්‍රධාන කොටස් තුන වන සිද්ධාන්ත, සංහිතා සහ හෝරා යන්න මොනවාදැයි පළමුව හඳුනාගෙන ග්‍රහ තරු වෙත මීළඟට අවධානය යොමු කරමු.
1. සිද්ධාන්ත – ජ්‍යෝතිෂයේ සඳහන් ගණිතමය කොටසකි.සූර්යය, චන්ද්‍ර ආදී වූ ග්‍රහ වස්තූන්ගේ ගමන් කිරීම සහ වර්ෂ, සෘතු, මාස ආදිය සිද්ධාන්ත කොටසට අයත්ය.

2.සංහිතා – සංහිතා කොටසට අයත් වන්නේ පලාපල කීමයි.එනම් මිනිසාගේ උපතේ සිට මරණය දක්වා ජීවිත සිදුවීම් විග්‍රහ කිරීමයි.
3.හෝරා -හෝරා යනු ශුභ නැකත් හෙවත් ශුභ මුහුර්ත සෑදීමයි.මෙයින් ශුභාශුභ වේලාවල් නිශ්චය කිරීම අදහස් කෙරේ.

මනුෂ්‍යයෙකුගේ උපත ජ්‍යෝතිෂයේ සිද්ධාන්ත කොටස හා සම්බන්ධ වන අතර උපන් වෙලාවට අනුව උපන් ලග්නය පළමුව සකස් කොට ගනී.අනතුරුව ග්‍රහ චාරය ලකුණු කර සාදනු ලබන කේන්ද්‍රය හෙවත් හඳහන මිනිසාගේ ඉරණම සඳහන් වන පත්‍රිකාවයි. ( ලග්නය සෙවීම, ග්‍රහ චාරය ආදිය පිළිබඳව අපි ඉදිරියේදී වඩාත් ගැඹුරින් පැහැදිලි ලෙස කතා බහ කරමු)

මිනිසා උපතේ සිට මරණය දක්වා ජීවිතයේ විවිධ සිදුවීම් වලට මුහුණ දෙනු ඇත.ඉගෙනීම,රැකියාව,දේපළ හිමිවීම,විවාහය,සතුරු කරදර,ලෙඩ දුක්,මරණය ආදී වූ ජීවිතය සම්බන්ධව බැදී පවතින්නාවූ නොයෙකුත් සිදුවීම් ගැන කල්වේලා ඇතිව දැනගැනීමට හැකිවන්නේ ඉහත සඳහන් කළ හඳහන හෙවත් කේන්ද්‍රය බලා විග්‍රහ කිරීමෙනි.එය පලාපල කීම ලෙස හැඳින්වෙන අතර පලාපල අයත් වන්නේ ජ්‍යෝතිෂ වර්ගීකරණය අනුව සංහිතා කොටසටයි.පොරොන්දම් බැලීම සහ විවාහ ගැලපුම යනු බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ ලෙසම සිදු කරන දෙයක් වන අතර විවාහ ජීවිතයේ හොඳ නරක ගැන පවසන පොරොන්දම් බැලීම අයත් වන්නේ ද සංහිතා කොටසටයි.

මනුෂ්‍යයාගේ උපතේ සිට මරණය දක්වා විවිධ අවස්ථාවන්හිදී ශුභ නැකතට කරුණු කාරණා රැසක් ඉටු කරනු ලබයි.ඉඳුල් කට ගෑම,අකුරු කියවීම,කන් විදීම,මල්වර නැකත්,විවාහ නැකත්,නිවාස තැනීම,ගෙවදීම,ව්‍යාපාර ආරම්භය ආදී වූ සියළු ක්‍රියාකාරකම් සිදු කරනු ලබන්නේ ජ්‍යෝතිෂයට අනුව ශුභ වේලාවක් සාදවා  බැලීමෙන් අනතුරුවය.ඒ අනුව ශුභ නැකැත් සෑදීම අයත් වන්නේ ජ්‍යෝතිෂයේ හෝරා කොටසටයි.

පෘථිවිය,සුර්යයා. චන්ද්‍රයා,ග්‍රහතරු,රාශිතරු සහ නැකැත් තරු යන ෂට් විද ආකාශ වස්තූන් ප්‍රධාන කොට ගනිමින් එකී වස්තූන්ගේ භ්‍රමණ,ගමන,වක්‍ර වීම්,චලන,සංයෝග,වියෝග ආදී වූ සියළු සංසිද්ධීන් මුල් කොටගෙන ලොව පවත්නා සියළුම සප්‍රාණික සහ අප්‍රාණික වස්තූන්ගේ උපත පැවැත්ම හා විනාශය පිළිබඳව පුරාණ සෘෂිවරුන් ලොවට අනාවරණය කර දී ඇත.ඒ අනුව යමින් ජ්‍යෝතිෂ සිද්ධාන්තයන් ඔස්සේ ජන්මියෙකුගේ කේන්ද්‍රයේ කොටු 12 කින් සහ ඒ මත පිහිටන ප්‍රධාන ග්‍රහයින් නව දෙනෙක් ( යුරේනස්, නැප්චූන් ආදී ග්‍රහයින් සහ යම,ඉන්ද්‍ර,වරුණ,ධූම,ව්‍යාතිපාත ආදී උපග්‍රහයින් හැරුණු කොට)  ඇසුරු කරගනිමින් එක්තරා කලාවකට උත්පත්තියේ සිට මරණය දක්වා වූ ජීවිත කතා පුවත පැවසීම ජ්‍යෝතිෂය තුළින් මූලික ලෙස සිදු කරනු ලබයි.

ඒ අනුව අප ඉදිරි ලිපියකින් ඉහත කී ෂට්විද ආකාශ වස්තූන් මොනවාද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් හඳුනාගනිමු.

0 අදහස් දැක්වීම්:

Post a Comment