Posted by Unknown On 9:04 AM

නක්‍ෂත්‍රය නම් මේ සුවිශේෂ ශාස්‌ත්‍රය මිනිසා මුලින්ම භාවිතයට ගත්තේ ගොවිතැන (කෘෂිකර්මය) සඳහාය.
වැසි වැසීම පිළිබඳව ඉර හඳහි බලපෑම මිනිසා විසින් සොයා ගැණිනි. තවත් කල් යාමේ දී මිනිස්‌ වර්ගයා මේ ග්‍රහ තරුවලට යටත් බැව් මිනිසාටම වැටහිණ. ඒ අනුව මිනිසාගේ යහපත උදෙසා මේ ශාස්‌ත්‍රය උපයෝගී කර ගැනීමට මිනිසා පෙළඹීම මත ගොවිතැනට අදාල නැකැත් සෑදීම වැනි කටයුතු ආරම්භය විය.

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලි ලැබූ ශ්‍රී ලංකාව කෘෂි කර්මාන්තතයෙන් ස්‌වයංපෝෂිත වූ එදා අපට වස විසෙන් තොර නිර්මල ගොවිතැනක්‌ අපේ මුතුන් මිත්තන් දායාද කළේය. එදා ඒ පුරාණ ගෞරවනීය මුතුන් මිත්තන් අපට දායාද කළ එම වස විසෙන් තොර නිර්මල හෙළ ගොවිතැන ඉර හඳ ගමන අනුව නැකැත්, කෙම්ක්‍රම භාවිතයෙන් සිදුකළ එකකි.

පැරැන්නෝ ගොවිතැන සඳහා පිරිත්/ නැකැත්/ කෙම්ක්‍රම ඇතුළු සාම්ප්‍රදායික උපක්‍රම යොදා ගත්හ. අදත් මේවා නොනැසී පවතී කෘෂිකර්මය උදෙසා විවිධ නැකැත් ක්‍රමවලින් අනූන නක්‍ෂත්‍ර පොත් රාශියක්‌ ඇත. ගොවිතැන සඳහා භාවිතා කළ නොවරදින කෙම් ක්‍රම බොහෝ වෙයි මෙය සඳහා මන්ත්‍ර මෙන්ම පිරිත්ද භාවිතා වෙයි. “සුපටිපන්නෝ” යන සංඝයා පුදන ගාථාවෙන් 108 වරක්‌ වතුර මතුරා පළතුරු ගස්‌වලට ඉසීමෙන් සතුන්ගෙන් ඵල ආරක්‌ෂාකර ගත හැකිය.” වරෝ වරඤඤො වරදෝ වරා හරෝ යන ගාථාවෙන් 108 වරක්‌ පිරිත් කළ පැන් ඉසීමෙන් ඉපියන් හා මීයන් ආදී සතුන් මර්දනය වනු ඇත.

ගොවිතැන සම්බන්ධ නක්‍ෂත්‍ර විධි බොහෝමයක්‌ ඇත. පොළොව හා සම්බන්ධ සුබ නැකැත් ලෙස බෙරන අද පුෂ මා සිත සා අනුර උත්‍රපල් උත්‍රසල උත්‍රපුටුප යන නැකැත් යෝග්‍ය වෙයි. අදාල තිථී වන්නේ නවවක තිථිය හැර සියලු ඔත්තේ තිථිද ඉරට්‌ටේ තිථිවලින් දියවක දසවක දෙකද සුබ වෙයි සඳුදා/ අගහරුවාදා ගොවිතැනට ඉතා සුබ දිනයක්‌ වන අතර බදාදා හා බ්‍රහස්‌පතින්දා මධ්‍යම වෙයි. ආදාල දින වල රෝපණය කළ යුතු ගස්‌ වැල් අතර

* ඉරිදා – මුල් මගින් ආහාර ලබාගන්නා ශාක
* සඳුදා – කඳ මගින් ප්‍රයෝජනය ගන්නා වූ ශාක
* අගහරුවාදා/සෙනසුරාදා – කොළ මගින් ප්‍රයෝජනය ගන්නා වූ ශාක
* බදාදා – මල් මගින් ප්‍රයෝජනය ගන්නා වූ ශාක
* බ්‍රහස්‌පතින්දා/සිකුරාදා – ගෙඩි මගින් ප්‍රයෝජනය ගන්නා වූ ශාක වේ.

වී ගොවිතැන ප්‍රධාන කොට ඇති සියලුම වගා කටයුතුවලදී පැරණි සිංහලයන් නියම ලෙස කල්යල් බලා ජ්‍යෝතිෂයට මුල්තැනදී කටයුතු කළ වග පෙනී යයි. “කැටකොළ චක්‍රය” නමින් වගා නැකැත් සඳහන් පුස්‌කොළ ග්‍රන්ථයක්‌ද තිබේ. “නැකැත් වදුළ” නමැති පැරණි පොතින්ද වගා නැකැත් පෙන්වා දී ඇත. ජ්‍යෝතිෂය කරුණු ගැන නොසළකා ඇතැමුන් වගා කටයුතු කර අලාභ හානි කර ගනිති. ඉරිදා දිනය තුළ වී වැපිරූ අයට අවශ්‍ය ජලය නොලැබී වගාව දුර්වල වෙයි. නැති නම් කුඹුරෙහි ජලය රැඳවීමට බාධක ඇති වෙයි. කක්‌කුටු කරදර නිදසුනට ගත හැකිය. සඳුදා දිනයේදී වපුලොත් ගොයම වැඩෙයි. එහෙත් අස්‌වැන්න අඩුවෙයි. අඟහරුවාදා නම් කුඹුර පාලුවෙයි. බදාදා බ්‍රහස්‌පතින්දා සිකුරාදා සහ සෙනසුරාදා නම් වැඩි අස්‌වැන්න ලැබෙයි.

අපගේ ප්‍රධාන ආහාරය වන වී වගාව සඳහා මෙම තිථී/ දින/ නැකැත් භාවිතා කිරීම මගින් හොඳ අස්‌වැන්නක්‌ ලබා ගත හැකිය වී වගාව සම්බන්ධ කටයුතුවලට වෘෂභ/ මිථුන/ කටක/ කන්‍යා/ තුලා/ වෘශ්චික/ ධනු/ මකර/ මීන යන ලග්නද සෙනසුරාදා හැර අනෙක්‌ දින ද 4/9/14 යන තිථී හැර අනෙක්‌ තිථීද අස්‌විද/ මුවසිරස/ පුනාවස/ පුෂ/ මා/ පුවපල්/ උත්‍රපල්/ හත/ සිත/ සා/ විසා/ අනුර/ දෙට/ මූල/ පුවසල/ උත්‍රසල/ සුවන/දෙනට/ පුවපුටුප/රේවතී යන නැකැත්ද ගොවිතැනට ඉතා සුබය බදාදා/ බ්‍රහස්‌පතින්දා/ සිකුරාදා යන දිනයක මා/ හත/ මුල/ උත්‍රපල්/ උත්‍රසල/ උත්‍රපුටුප/ පුෂ/ රෙහෙණ/ අනුර යන නැකැත් හා 3/5/7/11/13 යන තිථී හා වෘෂභ/ මිථුන/ කටක/ මකර/ මීන යන ලග්නයන්ද යෙදී ඇත්නම් ඉතා උතුම් වේ මෙවැනි දිනයක වී වැපිරීම් කටයුතු කිරීම ඉතාම සුභවෙයි. මේෂ ලග්නය උදාව ඇති මොහොතක වී වැපිරීම අසුබ වෙයි.

කුඹුරු වැපිරීමට අනුගමනය කරන පැරණි පිරිත් රාශියක්‌ ඇත. සුබ දිනය උදාවූ විට නියර මත වී ටිකක්‌ ඉසියි. බිත්තර වී ලෙස තබාගෙන ඇති වී මෙයට ගනු ලබයි. පළමුව නියරමත හබරල ගසක්‌ සිටුවති. හබරල පැළය ඌරා විසින් විනාශ නොකරයි. පැළය ඉදිරියේ මඩ ඉස ඒ මත වී ටිකක්‌ ඉසිනු ලබයි. එවිට සබ්බ පාපස්‌ස… ගාථාවද කියයි. අදත් වප් මඟුල් උත්සවවලදී මේ සිරිත දැකගත හැකිය. සමහරු පුවක්‌ අතුදෙකක්‌ මත වී ඉසිති. තවත් අය කුඩා ප්‍රමාණයේ කරු දෙකක්‌ සිටුවා ඒ මත බෙලිකටු දෙකක්‌ තබා මැද මඩ පුරවා ඒමත වී ඇට හලති. මෙයට “වී වැඩීම” යයි කියනු ලැබේ. වී වැඩීම ශුභ දිනයක කළ පසු තම කුඹුරේ වී වැපිරීමට තවත් නැකතක්‌ අවශ්‍ය නැත. අමු වැපිරීමට යොදාගෙන ඇත්තේ අඟහරුවාදා දිනයටය. පුරපක්‌ ෂයේ හත්වැනි තිථිය සිකුරාදා දිනය කුම්භ ලග්නය සහ මුවසිරස නැකත ගුරු හෝ බුධ හෝරාව යොදාගත් සිකුරාදා දිනයද මුං වැපිරීමට යොදා ගෙන ඇත. අනුර නැකත යෙදෙන දිනයන්හි තල වැපිරීමට ශුභය. අඟහරුවාදා සෙනසුරාදා සඳුදා බදාදා යන දිනයන් සමඟ යෙදෙන සිත උත්‍රසල අස්‌විද උත්‍රපුටුප සියාවස හා සා යන නැකැත් මුං වැපිරීමට ශුභය. සා නැකත යෙදෙන අඟහරුවාදා දිනය කුරහන් වැපිරීමට ශුභය. මුල නැකතින් උපන් අය ධාන්‍යය වැපිරීමට හා රෝපණයට ශුභ වෙයි. පොල් වගාවටද අත්ගුණය හා නැකත බලපානු ලැබේ.
දේශීයව සාදාගත හැකි වස විසෙන් තොර කෘමිනාශක වර්ග කීපයක්‌ පහත දැක්‌වේ.

* කොහොඹ බීජය
කොළ/ ගෙඩි හා කඳ විදින පණුවන්, කොළ හා පැළ කන කීඩෑවන් කනින්නන්, ඉල්මැස්‌සන්, මයිටාවන් හා සුදුමැස්‌සන් පාලනයට.
සාදා ගන්නාආකාරය – පොත්ත ඉවත්කරන ලද කොහොඹ ඇට ග්‍රෑම් 50 ක්‌ හොදින් කොටා ජලය ලීටර් 1 ක්‌ මිශ්‍රකර මැටි බඳුනකට දමා රෙදිකඩකින් වසා අඳුරු ස්‌ථානයක පැය 12 ක්‌ තබන්න. මිශ්‍රණය මිරිකා පෙරාගත් ද්‍රdවනයට සබන් හෝ ටීපෝල් ස්‌වල්පයක්‌ දමා මිශ්‍රකර සවස්‌වරුවේ බෝගයට ඉසින්න.

* කොහොඹ පත්‍ර සාරය
කුඩිත්තන්/ කීවෑවන්/ කොළ කන පණුවන්/ කොරපොතු කෘමින්/ ගොළුබෙල්ලන්/ පැළ මැක්‌කන්/ ගුල්ලන් හා සුදු මැස්‌සන් පාලනයට.
සාදාගන්නා ආකාරය – කොහොඹ කොළ කිලෝග්‍රෑම් 1/2 ක්‌ හොදින් කොටා වතුර ලීටර් 3/4 කට පමණ මිශ්‍රකර මැටි භාජනයක දින 3 ක්‌ තබා ශාකයට ඉසින්න.

* සුදුලූණු
සියලුම වගාවල කුඩිත්තන් හා කොළකන දළඹුවන් මෙන්ම එපිලැක්‌නා හා කුරුමිණියන් පාලනයට.
සාදාගන්නා ආකාරය – සුදුලූණු ග්‍රෑම් 100 ක්‌ අඹරා භූමිතෙල් තේ හැඳි 2 කට කළවම්කර ජලය ලීටර් 1 ක්‌ හා සබන් ග්‍රෑම් 10 ක්‌ සමග මිශ්‍රකර පැය 24 ක්‌ තබා පෙරන්න. හතර ගුණයක්‌ තනුකකර ඉසින්න.

* අරලිය මල්
ගෙවත්තේ වගාවට හානිකරන කෘමියන් පාලනය කර ගත හැක.
සාදාගන්නා ආකාරය – අරලිය මල් ජල බදුනකට දමා දින කීපයක්‌ තබා එම මිශ්‍රණයට සීනි ස්‌වල්පයක්‌ එක්‌කර පෙරා සබන් සබන් ස්‌වල්පයක්‌ එක්‌කර වගාවට ඉසින්න.

* දුම්කොළ නැටි
පණුවන් මර්දනය සඳහා.
සාදාගන්නා ආකාරය – දුම්කොළ නැටි අහුරක්‌ ගෙන ජලය ලීටර් 1 ක්‌ හා කළවම්කර හොඳින් උතුරවා නිවෙන්නට හැර පෙරා ඉසින්න.

0 අදහස් දැක්වීම්:

Post a Comment