ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබවෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ පස්වන දිග හැරුම මෙසේ සටහන් කරමු.
පසුගිය සතියේ අප ෂට්විද ආකාශ වස්තූන්ගෙන් චන්ද්‍රයා පිළිබඳව හඳුනාගතිමු.අද අප ග්‍රහතරු යටතේ සිටින ග්‍රහයින්ගෙන් කුජ හෙවත් අඟහරු පිළිබඳව ජ්‍යෝතිෂමය හා විද්‍යාත්මකව අපේ අවධානය යොමු කරමු.
පෘථිවියේ එකම උපග්‍රහයා චන්ද්‍රයා හැරුණු කොට පෘථිවියට ඉතාම ආසන්නවම පිහිටි ග්‍රහයා වන්නේ අඟහරු හෙවත් කුජ ග්‍රහයායි.සැතපුම් 4200 ක පමණ විෂ්කම්භයෙන් යුත් කුජ ග්‍රහයා පෘථිවියට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ.අඟහරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට ‘රතු ග්‍රහයා’ යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් (Mars) යන ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි.ආරවුල් විනාශකිරීම් යුද්ධයට අධිපති දෙවියා වන්නේ කුජය.බයිබලයේ කුජ ග්‍රහයා යක්ෂයා ලෙස හැඳින්වෙන අතර හින්දු මතයන් අනුව ස්කන්ධ දෙවියාය.
අඟහරු ග්‍රහයා තුනී වායුගෝලයක් සහිත භෞමික ග්‍රහයෙකු වන අතර අප චන්ද්‍රයාගේ දක්නට ඇති ගැටීම් නිසා ඇති වූ ආවාට සහ පෘථිවියේ දක්නට ඇති ගිනි කඳු, තැනිතලා, කාන්තාර සහ ධ්‍රැවවල ඇති අයිස් තොප්පිවල නෂ්ඨාවශේෂ අඟහරු පෘෂ්ඨය මතද දක්නට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස දැනට හඳුනාගෙන ඇති ඔලිම්පස් මොන්ස් කන්ද පිහිටා ඇත්තේ අඟහරු ග්‍රහයාගේ ය. තවද විශාලතම අගාධය වන වැලිස් මැරියිනරීස් ද පිහිටා ඇත්තේ මෙහිය. මෙම භූගෝලීය ලක්ෂණ හැරුණු කොට අඟහරුගේ භ්‍රමණ කාලය සහ දේශගුණික සෘතු රටාවද පෘථිවියට සමානය.
අඟහරු ග්‍රහයා සතුව ෆෝබොස් සහ ඩෙයිමෝස් නමින් චන්ද්‍රයන් දෙදෙනෙක් සිටී. මේවා අඟහරු වෙත හසුවුනු ග්‍රහකයන් විය හැකිය. පෘථිවියේ සිට පියවි ඇසින් අඟහරු ග්‍රහයා දැකගත හැකි අතර එහි දීප්තිමත් බව දෙවැනි වන්නේ සිකුරු ග්‍රහයාට, චන්ද්‍රයාට සහ සූර්යයාට පමණි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරුට වඩා දීප්තිමත්ව පියවි ඇසට දිස් වේ.
1965 දී මැරිනර් 4 යානය අඟහරු අසලින් ගමන් ගන්නා තුරුම අඟහරු ග්‍රහ පෘෂ්ඨය මත ද්‍රව ජලය ඇති බව අනුමාන කෙරුණි. මෙම අනුමානය පදනම් වුයේ විශේෂයෙන් ම ධ්‍රැවාශිත අක්ෂාංශ වල දක්නට ලැබුණු අඳුරු සහ ලා පැහැති පැල්ලම් හේතුවෙනි. මෙම පැල්ලම් සමුද්‍ර සහ අර්ධද්වීප ලෙස පෙනී ගිය අතර අඳුරු පැහැති ඉරි, ඇතැම් නිරීක්ෂකයින් විසින් අර්ථකථනය කළේ ද්‍රව ජලය සහිත ජල මාර්ග ලෙසය. කෙසේ නමුත් පසු කලක මෙවැනි අඳුරු ඉරි දෘෂ්ටි මායාවක් ලෙසට පැහැදිලි කෙරුණි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතුරින් පෘථිවියේ හැරුණු විට ද්‍රව ජලය සහ ජීවය හමුවන්නට වඩාත් ම ඉඩ කඩ ඇත්තේ අඟහරු ග්‍රහයා මතය.
අඟහරු ග්‍රහයා වටා මේ වන විට ක්‍රියාකාරී අභ්‍යාවකාශ යානා තුනක් කක්ෂ ගත කොට ඇත. මාර්ස් ඔඩිසි, මාර්ස් එක්ස්ප්‍රස් සහ මාර්ස් රෙකොනයිසන්ස් ඕබිටර් එම යානා තුනයි.
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතුරින් පෘථිවියට පසු වැඩිම යානා ගණනක් කක්ෂ ගත වී ඇත්තේ අඟහරු වටාය. තවද ස්පිරිට් සහ ඕපර්ච්නිටි නමැති අඟහරු ගවේෂණ යානා දෙකක් ද එහි පෘෂ්ඨය මත තිබේ. මේවායින් ලබා ගන්නා භූගෝලීය සාක්ෂි වලින් යෝජනා වන්නේ අඟහරු ග්‍රහයා මින් පෙර විශාල ලෙස ජලයෙන් වැසී තිබෙන්නට ඇති බවත් මෑත කාලයේ දී කුඩා ජල දහරා ඒ මත ඇති වී තිබෙන බවත් ය.NASA (නාසා) ආයතනයේ අඟහරු විශ්ව ගවේෂණය මඟින් පෙනීගොස් ඇත්තේ දකුණු ධ්‍රැවයේ කොටසක ඇති අයිස් තට්ටු අඩු වෙමින් පවතින බවය.
ජීවයක් පවතී යැයි තවමත් විද්‍යාඥයින් වඩාත්ම විශ්වාස කරන්නේද අඟහරු ග්‍රහයා මතයි.
ජ්‍යෝතීර් විද්‍යාවේදී කුජ විසින් දරා ගැනීමේ ශක්තිය,ආත්ම ශක්තිය,ශරීර ශක්තිය,අධික වීර්යය,සටන්කාමී බව, තර්ක හැකියාව,යමක් ආරම්භ කිරීමේ බලය ආදී දේවලට අධිපතිත්වය දරයි.නළල,නාසය,මස්පිඬු හා රහස් ස්ථානයන්ට අධිපති වේ.ලේ ධාතුවට අධිපති වේ.රුධිර නහරයන් හා පිපිරීම් වලට බලපවත්වයි.රටකජු,කංසා,දුම් කොළ, කෝපි,තේ,පුවක්,අබ,ඉඟුරු,සුදුලූනු, සියළුම වර්ගයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය,තඹ යකඩ, වානේ ආදී වූ ලෝහ වලට ද,කඩු ,තුවක්කු ඇතුළු අවි ආයුධ,ඉඩකඩම් වතුපිටි,සියළු ගොඩනැගිලි,කටු සහිත පැළ ආදියටද අධිපති වේ.
යුද්ධය හා සම්බන්ධ සියළු ක්‍රියාකාරකම්,මිනී මැරුමේ සිට සියළු දූෂණ,මැරකම් සහ කොල්ලකෑම් ආදියත් විප්ලවයන් ලේ සෙලවීම් සහ ස්ත්‍රී දූෂණ ආදියත් ගිනිතැබීම්,කෝලාහල අවි ආයුධ සඳහා ගැනෙන සියළු වෙඩි බෙහෙත් ඇතුළු රසායනික ද්‍රව්‍යයන්,සියළු ගිනිකෙළි,බෝම්බ,රසායන ද්‍රව්‍යයන්,භුමිය හා කටයුතු, ඇති වාහන,ට්‍රැක්ටර් සහ ජීප ආදියත් කුජට අයත්ය.ශල්‍ය හා දන්ත වෛද්‍යවරුන්,කම්මල් කරුවන් ,කරණවෑමියන්,සතුන් මරණ අය සහ මාංශ වෙළඳාමේ යෙදෙන්නන් විසින්ද කුජ ග්‍රහයා පාලනය වේ.
මහාමාරිය,වසූරිය,පැපොල,සරම්ප,කම්මුල්අමාරු,උණසන්නිපාතය,මැලේරියාව ,ගබ්සාවන්,අධික උණ,කපා කොටා ගැනීම් හෝ සීරීම් සහිත තුවාල ආදී වූ වාතය කිපීමෙන් රෝගයන්ටද බලපවත්වයි.
පුරුෂ ග්‍රහයෙක් ලෙස හඳුන්වන කුජ මේෂ රාශිය හා වෘශ්චික රාශීන් තම වාස භවන කරගනිමින් ස්වක්ෂේත්‍ර වේ.මකරයේ දී උච්චවන අතර කටකයේ දී නීච වේ.රතු මැණික් අයත් වන පාෂාණ වර්ගයයි.
මීළඟ පාඩමින් අප බුධ ග්‍රහයා පිළිබඳව හඳුනාගනිමු.
0 අදහස් දැක්වීම්:
Post a Comment