Posted by Unknown On 10:04 AM


තමන්ගේ ජීවිතයේ දෛනික කටයුතුවල සාර්ථක අසාර්ථක තත්ත්වය කෙසේ වේදැයි තමන්ට කල්තබා අවබෝධයක්‌ ලබාගැනීමට සාමාන්‍ය වශයෙන් හෝ ජ්‍යෝතිෂය ගැන දැනුමක්‌ තිබීම අත්‍යාවශ්‍ය කරුණකි. කෙනකුගේ දෛනික පැවැත්ම තුළ විවිධ කාර්ය භාරයන් පවතී. මිනිසකුට ඉතා සංකීර්ණ ලෙස විවිධ කටයුතු දෛනිකව පවතී. මේවා ඉටුකිරීමේදී තම තමන්ට ඒ තුළින් යහපතක්‌ වේද අයහපතක්‌ වේද යන්න සොයා බැලීමට අපට ප්‍රධාන වශයෙන් ඉවහල්වන ග්‍රහයා සඳුය.

විශේෂයෙන් සඳු ජ්‍යෝතිෂයේ ප්‍රධාන තැනක්‌ ගන්නා ග්‍රහයෙකි. ග්‍රහ මණ්‌ඩලයේ මාතෘ ග්‍රහයාය. සොබාදහමේ බොහෝ දේද සඳු මත පදනම්ව පවතී. එසේවූ සඳු දවස්‌ දෙක හමාරෙන් දෙක හමාරට අපේ කේන්ද්‍රයේ කොටු දොළහ අතර ගමන් කරයි. එක්‌ රාශියක දින 2 1/2 ක්‌ වශයෙනි. කේන්ද්‍රයේ කොටු 12 කියන්නේ විශ්වය බෙදා වෙන්කර ඇති මේෂ රාශියේ පටන් මීන රාශිය දක්‌වාවූ ලග්න හෙවත් රාශි 12 ටය. මන්දාකිනි තරු වලල්ල ලෙස තාරකා විද්‍යාවේ හඳුන්වන්නේත් ඔය කේන්ද්‍රයේ කොටු දොළහමය.

අප අත්දකින ලද සඳුගේ ගමන අනුව මිනිසාගේ දෛනික ජීවිතයේ සිදුවීම්වල සංකීර්ණ වෙනස්‌කම් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට මෙම ලිපියෙන් අදහස්‌ කරමි. එම තත්ත්වයන් ඔබේ ජීවිතයේ දෛනික කටයුතු වලටද ඉතාම ප්‍රයෝජනවත් වනු ඇත. හැබැයි මේ සඳහා ඔබට පංචාංග ලිතක අවශ්‍යතාව මතු වෙයි. එහි චන්ද්‍රවාරය යටතේ සඳු දින 2 1/2 කට වරක්‌ ඒ ඒ රාශි ගතවන ආකාරය දක්‌වා තිබේ. ඒ අනුව ඔබගේ කටයුතුවල තත්ත්වය ගැන කල්තබා යම් අන්දමකට අවබෝධයක්‌ ලබාගත හැකිය.

ඔබේ කේන්ද්‍රයේ සඳුගේ පිහිටීම අනුව එනම් උත්පත්තියෙන් සිටි තැන නොව ග්‍රහ චාරයෙන් සිටින තැන අනුව මුදල් ගනුදෙනු, ලොතරැයි වාසනා, සාමාන්‍ය රෝග පීඩා, ගමන් බිමන්, උසස්‌ අය හමුවීම්, ආධාර උපකාර ඉල්ලීම් ආදී වශයෙන් වූ විවිධාකාර අවශ්‍යතාවන් සඳුගෙන් ප්‍රකාශ වෙයි. හැබැයි උත්පත්ති පිහිටීම සුබ වුවත් සඳු ගමනින් ලග්නය, සතර, දොළහ, පහ, නවය, දෙවැන්න යන ස්‌ථානවලට පැමිණෙන දිනයන් අසුබ දායකයි. නමුත් උත්පත්තියෙන් ඒ ස්‌ථානවල ගුරු ශුක්‍ර ආදී සුබ ග්‍රහයන් සිටියේ නම් සුබදායකය. විශේෂයෙන් මෙසේ සඳුගේ ගෝචර ගමනේ දී තුන්වැන්න, හත්වැන්න, හයවැන්න, දහවැන්න, එකොළොස්‌වැන්න, අට වැන්න යන ස්‌ථානවලට පැමිණීම වඩාත් ඵලදායක බව අත්දැකීමට ලැබුණි.

මෙසේ සඳුගේ ගමන අනුව ඔබේ කේන්ද්‍රයේ රවි සිටි ස්‌ථානයට සඳු පැමිණ සිටින දින දෙක හමාර තුළ ප්‍රභූ ආදීන්ගෙන් යම් යම් උදව් උපකාර ලබාගැනීමේ කටයුතු කිරීම, තමන්ගේ ප්‍රතිරූපය උසස්‌ වන වැඩ කටයුතු ඇරඹීම, සේවා ස්‌ථානාධිපතියන්ගෙන් යම් යම් උදව්-සහන ඉල්ලීමට, යහපත් වූ ආදායම් මාර්ග වෙත යොමුවීමට ආදී කරුණු කාරණා කටයුතු කිරීමෙන් ඔබට වඩාත් සුබඵල අත්කරයි.
උත්පත්ති කේන්ද්‍රයේ සඳු සිටි තැනට ග්‍රහ ගමනින් සඳු පැමිණ සිටින දින දෙක හමාර තුළ යම් යම් ප්‍රශ්නවලින් ඔබට සැනසීම අත්කරනු ඇත. ඔබ පුරුෂයෙක්‌ නම් ස්‌ත්‍රී ඇසුරත් ස්‌ත්‍රියක්‌ නම් පුරුෂ ඇසුරත් ලැබීම පහසු කරයි. ගමන් බිමන් වලින් අපේක්‍ෂා සාර්ථකවීම – රසවත් ආහාර පාන මෙන්ම තව මිතුරු මිතුරියන් හඳුනා ගන්නටද ඉඩකඩ ලැබෙනු ඇත.

ඔබේ කේන්ද්‍රයේ කුජ සිටි තැනට සඳු පැමිණෙන විට ඔබට බොහෝ අවහිර බාධක වැඩි දින දෙක හමාරක්‌ වෙයි. හොඳට විපරම් කර බලන්න. ඉතාම සුළු හෝ අනතුරක්‌ සීරීමක්‌ හෝ ඇතිවෙයි. ගෙදර දොර මෙන්ම සේවා ස්‌ථානයේදී පවා අවහිර බාධක ඇතිවේ. රැවටීම්වලට ලක්‌වීමටත් ශරීර සනීපයට බාධා ඇතිවීමටත් ඉඩ සැලසිය හැක.

බුධ උපතින් සිටි ස්‌ථානයට සඳු පැමිණි විට විවිධ ලාභ සුළු වශයෙන් හෝ ඇති කරයි. වෙළ හෙළඳ කටයුතුවලින් වෙන දිනවලට වඩා මඳක්‌ හෝ ලාබ වැඩිකරයි. එවැනි දිනවල එනම් බුද සිටි ස්‌ථානයට ගෝචරයෙන් සඳු පැමිණෙන කාලවල නැකැත් ශුද්ධකර වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු ආරම්භ කිරීමෙන් ව්‍යාපාර සාර්ථක කරයි. එසේම උසස්‌ නිලධාරීන්ට විවිධ කටයුතු සඳහා ලිපි ලිවීම, පොත්පත් ලිවීම ඇරඹීම ආදී කටයුතු වලටද ඉතාම සුබදායකයි. ඒ කාලයට නිසි නැකැත් තනාගෙන පොත්පත් මුද්‍රණ කටයුතු, කොමියුනිකේෂන්, පොත් සාප්පු, ඕඩියෝ වීඩියෝ හල් ඇරඹීමටද ඉතාම සුබ දායකය.

චන්ද්‍රයා ගෝචර ගමනින් ගුරු සිටි ස්‌ථානයට පැමිණෙන් කලය තුළ බොහෝ විටම කරන කියන කටයුතු සාර්ථක කරයි. වෙනදාට වඩා ලැබීම් සුබදායකය. එසේම චන්ද්‍රයා ගුරු සිටි තැනට පැමිණ සිටින දින 2 1/2 ක කාලය තුළ සුබ හෝරාවන් ශුද්ධ කොට අසනීප සඳහා ඖෂධ ප්‍රතිකාර ආරම්භ කිරීම, දරුවන්ගේ දියුණුවට අදාළ කටයුතු ඇරඹීම, බැංකු ගිණුම් ඇරඹීම, ආදී කටයුතු සඳහා ඉතාම සුබවේ.
එසේම උසස්‌ අය හමුවී යම් යම් ඉල්ලීම් කිරීමට ආදී දේවලින් යහපත් ප්‍රතිඵල අත්කරයි.

සිකුරු සිටි ස්‌ථානයට ගෝචරයෙන් සඳු පැමිණෙන දින දෙක හමාර තුළ රූපලාවන්‍යාගාර, විලාසිතා ගාර, සළුපිළි ව්‍යාපාර, ටෙලි නාට්‍ය ආරම්භය ආදී සුබ කටයුතු වලට සුබ නැකැත් තනා ගෙන කටයුතු කිරීමෙන් විශිෂ්ට ඵල ලැබේ. එසේම තමන්ට මොන අන්දමේ හෝ සුළු වශයෙන් හෝ ලැබීම් ඇතිකරයි. මිහිරි ආහාර පාන මෙන්ම ලිංගික සම්බන්ධතාද ඇති කරයි. විනෝදාස්‌වාදය වැනි දේවල්ද ලැබේ. පවුලේ සතුට වර්ධනය වීම මෙන්ම විරසක තත්ත්වයන් තිබුණේ නම් ඒවා නිවී යැමද ඇති කරයි.

සෙනසුරු උපතින් සිටි ස්‌ථානයට සඳු පැමිණෙන දින දෙක හමාර අසුබය. අඩුම තරමේ සෙම් ඇවිස්‌සීමක්‌, හිස කැක්‌කුම් ගතියක්‌ හෝ හටගනී. බොහෝවිට සෙම්ප්‍රතිශ්‍යාවන් ඇරඹෙන්නේද එවිටය. වියදම්ද වැඩිවෙයි. සමහරවිට ගමන් බිමන් නිශ්ඵල වෙයි. ලාභ නැතිවෙයි. කම්මැලි ගති මතුකරයි. නිදිමත ඇතිවෙයි. එසේම රාහු සිටි තැනට සඳු පැමිණි විට බොහෝවිට වැදගත් අය ආශ්‍රය කිරීමට ලැබෙයි. ස්‌ත්‍රීන් සමඟ අනියම් ඇසුරු ඇති කරයි. ස්‌ත්‍රියකට නම් පුරුෂයන් වෙයි.
තමන්ගේ වැඩකටයුතුවල සාර්ථක භාවය වඩාත් ඇති කරයි. හොඳ නුවණක්‌ද මතු කරයි. කේතු සිටින තැනට සඳු පැමිණි විට වෙනදාට නොතිබුණ උනන්දුවක්‌ තම වැඩකටයුතු කෙරෙහි ඇති කරයි. ඕනෑම ගැටලුවකට නිවී සැනසිල්ලේ කල්පනාකොට සාර්ථක නිවැරදි විසඳුමක්‌ ලබාගැනීමට හැකිවෙයි. එසේම සමාජ පිළිගැනීමට ලක්‌වන වැඩකටයුතු ඇරඹීමටද ඉතාම සුබවාදී වෙයි.

ග්‍රහ මණ්‌ඩලයේ සුවිශේෂිත වගකීමක්‌ දරන සඳු නිත්‍ය ලෙසම මිනිසාගේ දෛවයේ ප්‍රධාන කාර්ය භාරයක්‌ දරයි. සෑම ග්‍රහයකුගේම කිරණ දහරා සඳු මත වැදී අනතුරුව සඳුගෙන් අප කරා පැමිණේ. එබැවින් තමතමන්ගේ දෛනික වැඩ කටයුතුවලට විශ්ව ශක්‌තීන්ගේ සම්බන්ධතාවයත්, ඒවායින් අප නිසි ප්‍රයෝජන ගතයුතු අන්දමත් මෙම ලිපියෙන් ඔබට අවබෝධ වනු අත.

0 අදහස් දැක්වීම්:

Post a Comment