චර රාශි යනුවෙන් හැඳින්වෙන්නේ මේෂ , කටක , තුලා , මකර යන රාශීන් සිවු දෙනා වේ. චර යනුවෙන් අර්ථ දක්වන්නේ චංචල , සෙලවෙන , හෙවත් ව්‍යාප්තවීයන අදහස පෙරදැරි කර ගෙනයි. මේෂ රාශිය උෂ්ණ ගතියෙන්ද කටක රාශිය තෙත් ගතියෙන්ද , තුලා රාශිය වායෝ ගුණයෙන්ද , මකර රාශිය, තද ගතියෙන්ද යුක්ත වෙයි.
කටක රාශිය වචනයේ පරිසමාප්ත වශයෙන්ම චර රාශියකි. එසේ කියන්නේ මෙය සඳුට අයත් රාශියක් බැවිනි. සඳු ග්‍රහයා නිතරම වෙනස් වන සුළු ස්වභාවයෙන් සිටී. සඳු තෙත ගතියෙන් යුතු බැවින් කටකයද එසේම තෙත් ගතියෙන් යුක්ත වේ. තෙත්වන සුළු හදවතක් ඇත්තෙකි. එසේම වෙනස් වන සුළු බැවින් දකින අය සිතන්නේ ස්ථිරත්වයක් නැති කෙනෙකු ලෙසටය. එහෙත් කටක ලග්න හිමියා අධ්‍යාත්මික වශයෙන් නොපිරිහී යහපත උදාවන තුරු තම ගමන නොනවත්වයි. කිසිම දෙයකට එල්බ නොසිටීමත් තම දැනුම හා ඥානය උපයෝගී කර ගැනීමත් තුලින් තම ගමනාන්තය සොයා යන්නේ නොයෙක් ලෙසින් තම ගමන් මඟ වෙනස් කරගනිමිනි.
කටකය ලග්න ගතව සිටි විට චංචල ගතියෙන් යුක්තවෙයි. ලෝකයේ කිසිම දෙයක් එක ලෙසට පවතින්නේ නැත. එසේම මෙම වෙනස්වීම පිරිහීමක් නොවේ. එකම තැනක සිටින්නා කිසිම විටක දියුණුවක් නොලබන්නා සේම කටක ලග්න හිමියා අධ්‍යාත්මික සහ බාහිර ලෙසින් අග්‍රස්ථානයට පැමිණේ. එසේ පැමිණෙන්නේ කටකය සතු වෙනස්වීම හෙවත් චර ස්වභාවය හේතු කොට ගෙනය.
චර රාශීන් අනුව කටකය ළඟින්ම තැබිය හැකි රාශිය වන්නේ තුලාවයි. තුලා රෘශියේ අධිපති වන්නේ සිකුරු ග්‍රහයා වන අතර එම ග්‍රහයා ස්ථිරත්වයකින් යුතු ග්‍රහයෙක් නොවේ. තුලාවෙහි සලකුණ වන්නේ තරාදියකි. එය තටු දෙකකින් යුතු වන අතර නිතර එම තරාදි තටු දෙක උඩ පහත යන සුළුය. දෙපැත්තටම බර සමාන ලෙසට දැමූ පසු එය සම බරව නොසෙල්වී තිබේ. එබැවින් තුලා ලග්න හිමියා යමි කිසි කරුණක් වෙනුවෙන් සමබරව යුක්තිය විසඳයි. කිසිම පැත්තකට නොනැමේ. අනුන් වෙනුවෙන් හරි හැටි තීන්දුව දීමට හැකි වුවද තමන්ගේ කරුණක් වෙනුවෙන් තුලා ලග්න හිමියා සිත සිතා සිටින ගතියක් ඇත. තීන්දුවකට බසින්නේ අපහසුවෙනි. අනුන් වෙනුවෙන් නිසි ලෙස තීන්දු තීරණ ගත් නමුත් තමන් වෙනුවෙන් සිත සිතා සිටීමේ නොහොත් තමන්ට ඇති තීන්දුව ගැනීමට ප්‍රමාද කිරීම විදහා පාන්නේ තුලාවෙහි චර ගතියයි.
මේෂ රාශිය කුජ ග්‍රහයාට අයත් උෂ්ණ රාශියකි. එහි සලකුණ වන්නේ එළුවාය. එළුවා එක තැනක රැඳි නොසිටී. කුජ ග්‍රහයාද එක තැනක රැඳි නොසිටී. සේනාධිපති ලෙසට නානාවිධවූ කටයුතුවල නිරත වේ. තම කටයුතු දක්ෂවද උවමනාවෙන් හා ආශාවෙන් ඉටු කරයි. එසේම ගින්නක් ඇතිවුන විට එයට නොනවත්වාම පැවතීමට නොහැක. කිසියම් ලෙසකින් එහි පැතිරීම නවතී. මේෂයේ විලාසයද කඩිසර හා ආඩම්බරව ආශාවෙන් යුතුව ක්‍රියාවෙහි දක්ෂ බව පෙන්වීමද වේ.
මකරය චර රාශියක් වුවද එය නමට පමණක් සීමාවන බව පෙනේ. චර රාශි හතරෙන් චර ගතිය අඩුම රාශිය වන්නේ මකර රාශිය වේ. එසේ කියන්නේ මකරයට අධිපති වන්නේ ශනි බැවිනි. ශනි ස්ථිර ග්‍රහයෙකි. අල්ලාගත් තැන අල්ලා ගෙන සිටීමත් එක රාශියක වසර දෙකහමාරක කාලයක් ගතකිරීමත් නිසා චර ගතිය අඩු බව පෙනේ. සැප දුක දෙක ගැන නොසිතා කුමන කරුණක් වුවද නිසි අයුරින් කාර්යක්ෂමව ඉටු කිරීමට මකර ලග්න හිමියාට හැකිවේ. ආත්මාර්ථකාමී ලෙස මකර ලග්න හිමියා දෙස බලන විට පෙනෙතත් එසේ නොවේ. කාර්මික ඥාණය මිස අධ්‍යාත්මික වශයෙන් ඉහළට යාමක් මකර ලග්න හිමියාගෙන් බලාපොරොත්තු විය නොහැක. මහ පරිමාණයේ ආයතන වල බලධාරීන් , පරිපාලකයින් වීමට මකර ලග්න හිමියන්ට හැකි වෙයි. මෙලොව දියුණුවට මෙම රාශිය බලවත් වන බව පෙනේ. මේ අයුරින් චර රාශීන් හඳුන්වා දීමට හැකිවේ.
0 අදහස් දැක්වීම්:
Post a Comment