අතිශයින් සංකීර්ණ වූත් විෂම වූත් අනන්ත වූත් විශ්වයේ ක්‍රියාකාරීත්වය නියාම ධර්ම පහකට අනුව සිදු වන බව ශ්‍රී සද්ධර්මයේ සඳහන් වේ. ඍතු නියාම, බීජ නියාම, කර්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම යන කරුණු පහ හා ජ්‍යෝතිෂය අතර සම්බන්ධතාවක් තිබෙන බව ගැඹුරින් විමසා බලන විට පෙනී යනු ඇත.
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් “මහණෙනි! මම චේතනාව ම කර්මය කියමි” යි බුදුහු වදාළහ. කර්මය දොළොස් ආකාර වේ. ජනක, ආසන්න, ආචින්න, ගරුක, කටත්තා, උපපීඩක, උපස්ථම්භක, උපඝාතක, දිට්ඨධම්ම වේදනීය, අපරාපර්ය්‍ය, උපපජ්ජවේදනීය, අහෝසි කර්ම යනු එම කර්ම දොළහ වේ. මේ කර්ම දොළහ පිළිවෙළින් ජන්ම පත්‍රයක ලග්න කුණ්ඩලියේ භාව දොළහ හා සම්බන්ධ කොට දැක්විය හැකි ය. ලග්න ස්ථානය (1) ජනක කර්මය හා බැඳී පවතී. පළමුවැනි භාවයෙන් ඉපදීම, ආත්මය, වයස ප්‍රමාණය, ශක්තිය ආදිය පිළිබඳ කියැවේ. මෙහිදී ජනක කර්මය යනු උපත ඇති වීමට තුඩු දුන්නා වූ කර්ම බලවේගය යි. මෙසේ ඉහත කී කර්ම හා කේන්ද්‍රයේ භාව 12 සම්බන්ධ වන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කිරීමට මෙහි අවකාශ මඳ බව සැලකුව මනා ය.
විශ්වයේ උපරිම සත්ත්වයා මිනිසා වේ. තුන් ලෝකයේ ම කෙනකුට ලැබිය හැකි අත්‍යුත්ම තත්ත්වය වන සම්මා සම්බුදු බව ලැබිය හැක්කේ මිනිසකුට ම පමණි. මේ සඳහා තිබිය යුතු ග්‍රහබල තත්ත්වය ‘භාව ප්‍රකාශ’ නම් ජ්‍යෝතිෂ ග්‍රන්ථයේ මෝක්ෂ කාණ්ඩයේ පහත සඳහන් ශ්ලෝකයෙන් කියැවේ:
“බාපාශේ කර්කටේ ලග්නේ තස්මින් දේවේන්ද්‍ර පූජිතේ
ත්‍රි චතුර්හිර් ග්‍රහෛඞ කේදො ජානේ බ්‍රහ්මපදං මුජේත්”
ක්‍රි.පූ. 565 හෙවත් කලියුග වර්ෂ 2478 වෙසක් මස පුර පසළොස්වක් පොහෝ දින මැදි දහවල කටක ලග්නෙන් විසා නැකතින් සිදුහත් මහ බෝසතාණෝ උපන් සේක. මේ බව ව්‍යාස නම් ඍෂිවරයා මේ උපතට අවු. 1000කට පෙර ප්‍රකාශ කර තිබෙන බව දඹදිව නාඩි ජ්‍යෝතිෂ ග්‍රන්ථවල සඳහන් ව තිබේ. මහා කවි අග්‍රගණ්‍ය පණ්ඩිත අශ්වඝෝෂ මාහිමි විසින් රචිත ‘බුද්ධ චරිතය’ පොතේ සඳහන් ආකාරයට සිදුහත් බෝසත් උපත සිදු වූයේ වෙසක් මස පුර අටවක ලත් කුජ දින කටක ලග්නයෙන් හා පුෂ නැකතිනි. මහා ඍෂි ගර්ග මතය අනුව වෙසක් මස පුර පසළොස්වක ලත් ඉරු දින උදයාදි එකොළොස් පැය විනාඩි 4ට විසා නැකතින් බෝසත් උපත සිදු ව තිබේ. එම අදහස ම කෞමාර භාෂිතයේ ද සමාන ලෙස දැක්වේ. වැඩි දෙනෙක් පිළිගෙන ඇත්තේ ක්‍රි.පූ. 565වෙසක් මස පුර පසළොස්වක් දින විසා නැකතින් කටක ලග්නෙන් මේ අසමසම උපත සිදු වූ බව යි.
මී ළඟට බුද්ධ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් කෙටියෙන් මෙසේ ය: ලග්න ස්ථානයේ එනම් කටකයේ උච්ච ක්‍ෂෙත්‍ර බලයෙන් ගුරු යෙදී ඇත. තුන් වැන්නේ – කන්‍යාවේ රාහු ස්ව ක්‍ෂෙත්‍ර ව ද, හතරේ සඳු ද, හතේ කුජ උච්ච ව ද, අටේ ශනි ස්වක්‍ෂෙත්‍ර ව ද, නවයේ සිකුරු උච්ච ව ද කේතු ස්වක්‍ෂෙත්‍ර ව ද, දහයේ රවි උච්ච ව ද ඉතා බලගතු ලෙස යෙදී තිබේ. ගුරු හංස, කුජ රුචක, බුධ භද්‍ර, සිකුරු මාලවි, ශනි ශසක යන පංච මහා ග්‍රහයෝග යෙදී තිබේ. ජය යෝගය, සිද්ධි යෝගය, මහෘෂධ යෝගය, මෝක්ෂ යෝගය ඇතුළු අෂ්ට මහා ග්‍රහ යෝග යෙදී තිබීම අත්‍යුත්තම විශිෂ්ඨතම සුවිශේෂ ග්‍රහ තත්ත්වයකි. එපමණක් ද නො ව, චක්‍රවර්තී රාජයෝග සතර මහා නිධාන හිමි මහාධනයෝග, අතිශ්‍රේෂ්ඨ ඥාානයෝග ගණනාවක් ම යෙදී තිබීමෙන් අසමසම වූ අත්‍යුත්තම තත්ත්වය කෙබඳු ද? යන්න පැහැදිලි වේ.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගුරු හිමි විසා නැකතේ ප්‍රථම පාදයෙන් උපන් නිසා බ්‍රහස්පති මහ දශාව වර්ෂ 16ක් ඉදිරියට ශේෂ ව තිබුණේ ය. මෙම කාලය තුළ සිප් සතර ඉගෙනීමෙන් උසස් ම ඥාානය ලැබුණ අතර, සකල සිරි සැපතින් අනූන ව කල් ගෙවූ සේක. ළදරු සිදුහත් කුමර දා වප් මඟුල් දින අහසේ පලක් බැඳ පෙළහර පෑම, මුළු රට ම විස්මයට පත් කරමින් ශිල්ප දැක්වීම, යසෝදරා කුමරිය හා විවාපත් ව රටේ රජකම ලැබ උපරිම සැපසම්පත් විඳීම, බ්‍රහස්පති මහ දශා කාලය තුළ සිදු විය. පුණ්‍ය ස්ථානාධිපති ලග්න ස්ථානයේ උච්ච ව සිටීම නිසා වැඩියෙන් ම ශුභ ඵල උදා කරන ග්‍රහයා බ්‍රහස්පති වේ.
සිදුහත් කුමරු සෙනසුරු මහ දසාවේ කුජගේ අන්තර් දශාව අවසානයේ – එනම් විසි නම වැනි වියේදී – ගිහි ගෙයි කලකිරී ඇසළ පුන් පොහෝ දිනක අබිනික්මන් කර අනෝමා නදී තීරයේදී පැවිදි විය. එතැන් සිට සය වසරක් වනයේ ගස් යට ගල් ගුහාවල වෙසෙමින් දුෂ්කර ක්‍රියා කරන ලද බව බුදු සිරිතේ සඳහන් වේ. ලෝකයේ කිසි කෙනකුට කිරීමට තබා සිතීමට වත් බැරි, අතිදුෂ්කර පැවිදි ජීවිතයක් මහ බෝසතාණෝ ගත කළහ. සිදුහත් බෝසතුන්ට වයස අවු. 35 පිරි ශනි මහ දශාව ගෙවී ඥාානකාරක ග්‍රහයා වූ බුධගේ මහ දශාව ලැබුවේ ය. එම මහ දශාවේ බුධ අන්තර් දශාවේදී සව් කෙලෙසුන් දුරු කොට මාර පරාජය කර ලොව්තුරා සම්මා සම්බුදු බවට පත් වූ සේක. ඉන් පසු සකල සත්ත්වයන්ගේ හිත සුව පිණිස බරණැස ඉසිපතනේ මිගදායේදී දම්සක් දෙසා බුදු කිස ආරම්භ කළ සේක. භික්‍ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් වණක් පිරිස ඇති වී බුදු දහම දස දෙස පැතිර ගියේ ය. තුන්ලෝවැසි අපමණ සත්ත්වයෝ නිවන් දුටහ. බුදු රජාණන් වහන්සේ සුර නර බඹ ප්‍රධාන සත්ත්වයන්ගෙන් අපමණ පුදපූජා වැඳුම්පිදුම් ලත් සේක. නිග්‍රෝධාරාමය ආදි මහා විහාර ආරාම පූජා ලත් සේක.
බුදු පියාණන්ට වයස අවු. 52දී බුධ මහ දශාව අවසන් වී කේතු මහ දශාව එළඹිණි. ඡ්‍යෝතිෂ සිද්ධාන්ත හා කර්ම බලවේග සනාථ කරමින් මෙම පාපග්‍රහ දශා කාලය තුළ ලෙඩදුක්, ශරීර පීඩා, නින්දා අපහාස, බොරු චෝදනා ආදිය බුදු පියාණන් කෙරෙහි බල පෑ බැව් පෙනේ. ජන්මීන්ගේ බලය සුව සෙත හකුළුවා තැබීම කේතුගේ ස්වභාවය යි. බුදු රජාණන් වහන්සේට වයස අවු. 59දී සිකුරුගේ මහ දශාව ලැබී ය. මෙම දශාකාලය තුළ ජේතවනාරාමය, පූර්වාරාමය, වැනි අතිරමණීය සුවිසල් ආරාම පූජා ලත් සේක. අසදෘශ මහා දානය, දෙව්දත් හා මිසදිටුවන් පරාජය වීම ආදි ශුභ ඵල ලත් සේක. දහම් අමාවෙන් තිලොව ම සනසා අපමණ සත්ත්වයන් හට සග මොක් සුව ලබාදී සියලු බුදු කිස නිම කොට අසූ වැනි වියේදී සිකුරු මහ දශාවේ කේතු අතුරු දශවේදී ශාන්ති නායක දසබලධාරී අසමසම සම්මා සම්බුදු පියාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන නම් සල් වනේදී පිරිනිවන් පා වදාළ සේක.
ප්‍රාණය, සිත, කර්ම බලය හා ග්‍රහ බලය පිළිබඳ කරුණු ස්වල්පයක් මීළඟට දක්වනු ලැබේ. පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී පෙර දඹදිව විසූ ඍෂිවරයන්ගේ මතය අනුව සියලු ජීවිත පවතින්නේ ස්පන්දනය වන ශක්ති සමුදායක් මත ය. මේ විදුලි ශක්තිය ‘ප්‍රාණ’ යනුවෙන් ඔවුහු හැඳින්වූ හ. නූතන භෞතික විද්‍යාවේ සොයාගැනීම් අනුව ද මනෝ විද්‍යුත් ශක්තියක් විශ්වයේ ඇති බව ඔප්පු වී තිබේ. විදුලිය තිබේ නම් එතැන කාන්දම් ශක්තිය ක්‍රියාත්මක වෙයි. මේ චුම්භකත්වය සත්ත්වයාගේ පුනර්භවයට කෙළින්ම බලපාන බැව් ඔප්පු වී ඇති සත්‍යයකි.
සංසාර ගමන ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තීන් වන තණ්හා, රති, ද්වේෂ, මෝහ ආදි කෙලෙස් මනෝ ධාතුවේ ගබඩා වී තිබේ. මනෝ ධාතුවෙන් සකස් වන හැඳිනීමේ වාර්තාව ආපසු හදවතට ගිය විට ලේ ධාතුවේ යම් අනු ප්‍රමාණයක් නිසා ශක්තියක් හට ගන්නා අතර එයට සිත යැ යි කියනු ලැබේ. එම සිත යම් ආකාරයකින් චුති සිතක් වුව හොත් එහි තාප ශක්තියට සමාන ශක්තියක් විශ්වයේ කොතැනක තිබුණත් ඒ ශක්තිය චුති සිතේ තාප ශක්තිය සමග සම්බන්ධ වී එහිදී ලැබෙන ප්‍රත්‍ය ආධාර කොටගෙන විකාශනය වෙයි. මෙය නැවත ඉපදීම නම් වෙයි. සිත නැමැති විදුලිය ශක්තියෙන් චුම්භක ශක්තිය ඉවත් කළ විට නැවත උපතක් සිදු වන්නේ නැත. නිවන එම තත්ත්වය වේ. භාවනා මගින් සිත දියුණු කරගත් විට පරම සැපත වූ නිවන්සුව ලැබිය හැකි ය. කර්ම කෙලෙස් ශක්ති ක්‍රියාත්මක වී නැවත උපන් විට අනන්ත වූ දුක් වේදනාවන්ට මුහුණ පෑමට සිදු වේ. කුසල අකුසල කර්ම ශක්තියෙන් උපන්නා වූ සත්ත්වයා ආයුෂ, උෂ්ණය, විඥානය, යන නාම ධර්ම තුන ශරීරයෙන් අස් වූ කල්හි මරණය සිදු වේ.
ජ්‍යෝතිශ්ශාස්ත්‍රය අනුව මරණය සිදු වන්නේ කෙසේ ද? කොහිදී ද? කෙදිනක ද? කුමන රෝගයකින් හෝ අනතුරකින් ද? ආදි ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි ය. කේන්ද්‍රයේ මෘත්‍යු ස්ථානය (8), එහි අධිපති ග්‍රහයා, විසි දෙවැනි දෙර්කාණාධිපතියා ආදි කරුණු අනුව යමකුගේ මරණය ගැන කිව හැකි ය. අටවැන්න හිස් නම් අට දකින ග්‍රහයාගේ ධාතු කෝපයෙන් මරණය සිදු වේ යන්න නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය.
ඉහත ආත්මයෙහි යම් කර්මයක් රැස් කරන ලද්දේ ද, ඒ කර්මයාගේ විපාක හෝරා ශාස්ත්‍රයෙන් මනා කොට ප්‍රකාශ කරනු ලැබේ. ‘කර්මාර්ජිතං පූර්ව භවේ සදාදියතස්‍ය පංක්ති සම්භිව්‍යනක්ති’ යන සිලෝවෙන් ඒ බව කියැවේ. මේ අනුව බුදු සමයත් ජ්‍යෝතිෂයත් කර්මය පිළිබඳ ව බොහෝ දුර සමාන අර්ථ දරන බව කිව හැකි ය.
ලෝකය විවිධ ය, විෂම ය. නානාප්‍රකාර සත්ත්වයෝ සිටිති. මිනිසුන් අතර ස්ත්‍රී, පුරුෂ, මහත, කෙට්ටු, දුප්පත් පෝසත් නැණවත්, අඥාාන ආදි බොහෝ විෂමතා ඇති වීමේ හේතුව ග්‍රහ බලය බව ජ්‍යෝතිෂයෙන් කියැවේ. කලින් කලට සැප දුක් ලැබීම, විවිධ කාර්යයන් කිරීමේ හේතුව කර්මය හා එකට යන ග්‍රහ බලය බව කිව යුතු ය.
0 අදහස් දැක්වීම්:
Post a Comment