Posted by Unknown On 5:55 AM


ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබවෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ හයවන දිග හැරුම මෙසේ සටහන් කරමු.

පසුගිය සතියේ අප ෂට්විද ආකාශ වස්තූන්ගෙන් කුජ හෙවත් අඟහරු පිළිබඳව හඳුනාගතිමු.අද අප ග්‍රහතරු යටතේ සිටින ග්‍රහයින්ගෙන් බුධ පිළිබඳව ජ්‍යෝතිෂමය හා විද්‍යාත්මකව අපේ අවධානය යොමු කරමු.

මීට අවුරුදු 5000 පෙර ග්‍රීකයන් විසින් සුමේරියන් යුගයේදී මෙම ග්‍රහයා හඳුනාගන්නා ලදී. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය.අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමැත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 175 කි. මෙහි ජීවී වාසයක් නොමැත. මෙහි චුම්බක ක්ෂේත්‍රය පෘථිවිය මෙන් 1%කි.අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීම එයට හේතුවයි. ඉලිප්සාකාර කක්ෂයක සූර්යයා වටා ගමන් කරන බුධ ග්‍රහයා තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 59ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 88ක් ගත වේ.

භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමාණයකින් සමන්විත අතර ස්වභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමඟින් පෘථිවි‍යේ චුම්බක ක්ෂේත්‍රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්‍රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙස ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k ( -180 සිට 430 සෙල්සියස්)දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය උණුසුමින් වැඩිම ස්ථානය වන අතර ධ්‍රැව අසල ඇති ආවාටවල පතුල සීතලම ස්ථානය වේ.

බුධ ග්‍රහයා පිළිබඳ සිදුකර ඇති වාර්තාගත නිරීක්ෂණ ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය දක්වා දිව යන අතර ක්‍රිස්තු පූර්ව හතරවන සියවසට පෙර ග්‍රීක තාරකා විද්‍යාඥයින් විසින් විශ්වාස කලේ එම ග්‍රහයා වස්තුන් දෙකක් බවය.

උදෑසන ඉර නැගෙන විට පමණක් දුටු ග්‍රහයා ඇපලෝ ලෙසටත් ඉර බැස යන විට දුටු ග්‍රහයා හර්මිස් ලෙසත් ඔවුන් විසින් නම් කරන ලදි. Mercury නමැති බුධ ග්‍රහයාගේ ඉංග්‍රීසි නම රෝමානු ජාතිකයන් විසින් තබන ලද අතර ඔවුහු එය නම් කළේ රෝමානු දෙවි මර්කරි සිහිපත් වීමට ය. ඔවුහු එය ග්‍රීක දෙව් හර්මිස්ට සම කළහ. බුධ ග්‍රහයාගේ තාරකා ලකුණ ලෙස භාවිතා වන්නේ නවීකරණය කරන ලද හර්මිස්ගේ Caduceus එකය.

සෞරග්‍රහ මණ්ඩලයේ පණිවිඩකරුවා සහ ලේඛකාධිකාරී ලෙස බුධ ජ්‍යෝතිෂයේදී හඳුන්වනු ලබයි.සුර්යයාට ඉතා සමීපව සිටින අතර කසිම විටක අංශක 28 කින් එහා නොයයි.ඥාණය,කාව්‍යකරණය,ව්‍යාකරණ,න්‍යාය ශාස්ත්‍රය,විදුලි සංදේශ කටයුතු,පණිවිඩ හුවමාරු,පරිගණක ආශ්‍රිත සන්නිවේදන කටයුතු ආදී සන්නිවේදනයට අදාළ සියළු දේ බුද විසින් නියෝජනය කරනු ලබයි.කතාව,ලියන කියන වැඩ,ඉගෙනීම සහ පොත් පත් සම්බන්ධ කටයුතු ආදියත් කාර්මික අංශයන්,ලිපිකරුවන්,විවිධ ලෝහ වර්ග නිර්මාපකයින්,වෛද්‍යවරුන්,අශ්වයින් රාජ මන්දිර ආදී වූවන්ට අධිපතිත්වය ද බුද විසින් දරයි.

එහෙත් බුධ දුර්වල වූ විට කථනයේ අපහසුතා,ගොළු වීම,ගොත ගැසීම,අමතක වීම,හිසේ කැක්කුම ආදී දේ බුද දුර්වල වීම නිසා ඇතිවේ.අසම්මත නරක දේ ලෙස හඳුන්වන කපටි කෛරාටික ක්‍රියාකාරකම්,මුලාවේ යෙදවීම,රැවටීම,කරදර කාර ගති,නිර්නාමික ලියුම්,පෙත්සම් ආදිය,බොරු පුරාජේරු කීම,ආත්ම වර්ණනා කිරීම් ආදිය බුද නරකට කේන්දර සටහනේ පිහිටා ඇතිවිට සිදුවන දේවල්ය.

නපුංසක ග්‍රහයෙකු ලෙස හඳුන්වයි.එයට හේතුව බුදගේ ද්වි ස්වභාව ගතියයි.එම ගති ලක්ෂණ තවත් ග්‍රහයෙකු හා එක්වූ විට ප්‍රකට කරවයි.කොළ පැහැය බුදගේ වර්ණයයි.පච්ච මැණික බුදට අයත් මැණික වේ.මිථුන සහ කන්‍යා රාශි 2 බුදට අයත් එනම් ස්වක්ෂේත්‍ර නැතහොත් අධිපතිත්වය දරන රාශීන් වේ.කන්‍යාව මූල ත්‍රිකෝණ බලය අත්පත් කරගන්නා රාශියද වේ.මීනය නීච රාශියයි.අස්ලිස,දේට සහ රේවතී යන නැකත් බුදගෙන් පාලනය වේ.බදාදා දිනය බුදට අයත් වන දිනයයි.

මීළඟ පාඩමින් අප ගුරු ග්‍රහයා පිළිබඳව හඳුනාගනිමු.

0 අදහස් දැක්වීම්:

Post a Comment